මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නගාසිටුවීමට සහන රැසක් මෙවර අය-වැයෙන්

    නොවැම්බර් 11, 2014

    - ශ්‍රී ලංකාවේ ප්‍රථම විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අරඹමින් ඇමති රිෂාඩ් කියයි


    “ගෘහ කර්මාන්තයක් ලෙස මෙන් ම අපනයන කර්මාන්තයක් ලෙස ඉදිරියෙන් සිටින විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නියලෙන්නන් හට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අයවැය තුළින් සහන රැසක් ලබා දී තිබෙනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන “විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය” (1st Sri Lankan International Ornamental Fish Trade Conference) ආරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

     

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, මලයාසියාවේ INFOFISH ආයතනය, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හා ජාත්‍යන්තර විසිතුරු මත්ස්‍ය ආයතනයේ සහයෝගීතා සංවිධානයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය ඊයේ (10) කොළඹදී ආරම්භ විය.

     

    විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නියුතුවන්නන් හට සහන ණය ලබා දීම, තත්වයෙන් උසස් මත්ස්‍ය පැටවුන් ලබා දී කර්මාන්තයේ ප්‍රමිතිය ඉහළ නැංවීම, විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන 1000ක් සංවර්ධනය කිරීම සඳහා ඇ.ඩො.මි.1.5ක් වෙන් කිරීම, විසිතුරු මත්ස්‍ය අපනයන සංවර්ධනය සඳහා ඇ.ඩො.380,000ක් වෙන් කිරීම ඒ අතරින් ප්‍රධාන වෙනවා. එමෙන්ම කර්මාන්තයට අවශ්‍ය නව තාක්ෂණය හඳුන්වා දීම තුළින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන් දිරිමත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. 2013 වර්ෂයේදී ශ්‍රී ලංකාව ඇ.ඩො.මි. 10.7 ක විසිතුරු මත්ස්‍ය අපනයනයක් සිදු කර ඇති අතර එය 2012 වර්ෂයට සාපේක්ෂව 41% ක වර්ධනයක්. මේ තත්වය තවත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට අපි කටයුතු කරනවා.
     
    විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දේශීය හා ජාත්‍යන්තර සැපයුම, නව ප්‍රවණතා හා වෙළඳපොළ, කර්මාන්තයේ වර්තමාන තත්වය හා අලෙවිකරණ ගැටලු පිළිබඳ සාකච්ජාවට බඳුන් කිරීම මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණු වේ.
     
    වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ “දැනට ශ්‍රී ලංකාව රටවල් 40කට අධික සංඛ්‍යාවකට විසිතුරු මසුන් අපනයනය කරනු ලබන අතර ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ජපානය හා ප්‍රංශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගනුදෙනුකරුවන් 5 දෙනා අතර සිටිනවා. ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආනයනකරු වන අතර සිංගප්පූරුව, හොංකොං, මලයාසියාව, නෙදර්ලන්තය, වැනි රටවලට අපනයනය කරනු ලබන විසිතුරු මසුන් එම රටවල් විසින් ප්‍රති අපනයනය කිරීම ද සිදු කරනවා. මෙමගින් විශාල අපනයන ආදායමක් ශ්‍රී ලංකාව උපයා ගන්නවා. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන් දිරි ගැන්වීම සඳහා විශේෂ ව්‍යාපෘති සකස් කර ක්‍රියාත්මක කරනවා.
     
    ඕස්ට්‍රේලියාව, නෝර්වේ, සිංගප්පුරුව, ජපානය, චීනය, මලයාසියාව හා ඉන්දියාව වැනි රටවල නියෝජිතයන් හා දේශීය විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන් 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම සම්මන්ත්‍රණය අද හා හෙට දෙදින පුරා පැවැත්වේ.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද පැමිණ සිටි පිරිස ඇමතූ අතර කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් අනුර සිරිවර්ධන, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.පී.දිසානායක හා අපනයන සංවර්ධන මණ්ඩල සභාපති බන්ධුල එගොඩගේ යන මහත්වරු ඇතුළු දේශීය විදේශීය ආනයන අපනයනකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya