මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර සංවර්ධනය සහ සංහිඳියාව ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රමුඛතම අරමුණයි - ජනපති Featured

    සැප්තැම්බර් 21, 2016

    තිරසාර සංවර්ධනය සහ සංහිඳියාව ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රමුඛතම අරමුණ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

    මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ තේමාව වූ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම මේ වන විටත් තම රජය විසින් කි‍්‍රයාත්මක කරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ තමා නිහතමානීව සතුටුවන බව ද කියා සිටියේය.

    ඇමෙරිකාවේ රාජ්‍ය නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි ප‍්‍රධාන විධායක නිලධාරිනී ඩැනා ජේ හයඩ් (Dana J Hyde) මහත්මිය ඇතුළු එහි නියෝජිත පිරිසක් සමඟ ඊයේ (20) නිව්යෝර්ක් නුවර පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    තිරසාර සංවර්ධන අරමුණු ජය ගැනීමේ විශේෂ ව්‍යාපෘති සඳහා ශී‍්‍ර ලංකාවට සහාය දැක්වීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය ඉදිරිපත්වී සිටින අතර ඒ පිළිබඳව මෙහිදී සිය විශේෂ ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එය ශී‍්‍ර ලංකාවේ ඉදිරි ආර්ථික අරමුණු ජය ගැනීමට මහත් ශක්තියක් වනු ඇති බවයි.

    එම ව්‍යාපෘති සඳහා රටවල් තෝරා ගැනීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය අනුගමනය කරන ක‍්‍රමවේදය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

    තිරසාර සංවර්ධනය තුළ සංහිඳියාව ශක්තිමත් කරමින් නව මානයක් ඔස්සේ ශී‍්‍ර ලංකාව ඉදිරියට ගෙන යන බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් මෙන්ම සාමය සහ නිදහස සුරක්ෂිත කිරීමට රජය ගෙන ඇති පියවර ද පැහැදිළි කළේය.

    19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට පියවර රැසක් ගත් අතර නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ද රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවත් මෙම සියලු පියවර ගනු ලබන්නේ නැවත මේ රටේ යුද්ධයක් ඇති වීම වළක්වා ස්ථිර සාර සාමයක් රට තුළ ගොඩනැගීමට බවත් කියා සිටියේය.

    මාස 20 ක කාලයක් තුළ ශී‍්‍ර ලංකා නව රජය ලබාගත් ජයග‍්‍රහණ මෙහිදී ඩැනා ජේ හයිඞ් මහත්මියගේ විශේෂ ප‍්‍රසාදයට ලක් වූ අතර ආර්ථික, සමාජයීය මෙන්ම දේශපාලන වශයෙන් ජනතාවට ලබාදුන් ජයග‍්‍රහණ පිළිබඳ තමන් සතුටුවන බව ද ප‍්‍රකාශ කළාය.

    ඉදිරියේදී තම කණ්ඩායම ශී‍්‍ර ලංකාව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද හයිඩ් මහත්මිය සඳහන් කළාය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 71 වන සැසිවාරයට සහභාගීවූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මුන් මහතා විසින් පිරිනමන ලද විශේෂ භෝජන සංග‍්‍රහයේ දී අවශ්‍ය ඕනෑම වේලාවක ශී‍්‍ර ලංකාවට සහාය දැක්වීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති බැරුක් ඔබාමා මහතා තමන් වෙත ප‍්‍රකාශ කළ බවයි.

    එමෙන්ම ශී‍්‍ර ලංකා නව රජයේ ගමන් මග වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ පූර්ණ ආශිර්වාදය හිමි වූ බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya