මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් රජය ඇරඹූ වැඩසටහන් සාර්ථක කර ගැනීමට සහාය වීම දේශපාලන නියෝජිතයන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ද වගකීමක්

    අප්‍රේල් 05, 2024

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරුණු අස්වැසුම, උරුමය සහ කඳුරට දශකය ඇතුළු වැඩසටහන්වල උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් දේශපාලන ක්‍රියාකාරීන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ ද සහාය අවශ්‍ය බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

    2024 අයවැය මඟින්  ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් ආරම්භ කෙරුණු උරුමය, අස්වැසුම සහ කඳුරට දශකය වැඩසටහන් පිළිබඳ දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සම්මන්ත්‍රණයට එක් වෙමින් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.
    ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය මඟින් මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබූ අතර ඉදිරියේ දී මෙය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා රට සහ ජනතාව වෙනුවෙන් මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට එක්වන ලෙස මෙහිදි සියලුදෙනාගෙන් ඉල්ලා සිටි සමන් රත්නප්‍රිය මහතා රටේත්, ජනතාවගේත් ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීම අත්‍යාවශ්‍ය බවද පෙන්වා දුන්නේය.

    ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා  ද සම්මන්ත්‍රණය ඇමතූ අතර ජනාධිපතිවරයාගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් අද රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    වසර 75 ක් පුරාවට අත් නුදුටු දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ කඩා වැටි තිබු රට අද නිවැරදි දිශාවට ගමන් කරමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා  2022 ජූලි මසයේ දී ඩොලර් මිලියන 19ට පහත බැස තිබු මෙරට විදේශ සංචිත 2024 පෙබරවාරි මාසය වන විට ඩොලර් බිලියන 4.5ක  මට්ටමිකින් පවත්වාගෙන යාමට මහබැංකුවට හැකි වී තිබෙන බවද පෙන්වා දුන්නේය.

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා හා ඉඩම්) චන්ද්‍රා හේරත්, ජනාධිපති අතිරේක ලේකම් (ආහාර සුරක්ෂිතතා හා යටිතල පහසුකම් සංවර්ධන) වර්නන් පෙරේරා සහ සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න යන මහත්ම මහත්මීන්ද මෙහිදී අදහස් දැක්වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා මෙසේද පැවසිය,

    ප්‍රධාන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා 2024 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ බව අප දන්නවා. එම වැඩසටහන් අද රට තුළ සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. එම ප්‍රධාන වැඩසටහන් අතරින් උරුමය, අස්වැසුම සහ කදුරට දශකය පිළිබඳ ඔබ දැනුවත් කිරීමට අප සිතුවා. අප මෙම වැඩසටහන් තුන තෝරාගනු ලැබුවේ මෙම වැඩසටහන් රටේ ජනතාවට ඉතා බරපතළ ලෙස බලපාන වැඩසටහන් නිසායි.

    උරුමය වැඩසටහන යටතේ මේ රටේ ඉඩම් අහිමි  ජනතාවට සින්නකර ඉඩම් අයිතිය හිමි වෙනවා. ලක්ෂ 20ක ජනතාවට එම ප්‍රතිලාභය ලැබෙනවා. මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී නැහැ.

    උරුමය වැඩසටනේ පළමු අදියර යටතේ මේ වන විට 10,000කට ඉඩම් ඔප්පු ලබාදී තිබෙන අතර ඉතිරි පිරිසටද කඩිනමින් එම ඉඩම් අයිතිය ලබාදිමට රජය සැලසුම් කර තිබෙනවා. මේ සඳහා රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම දේශපාලනඥයන්ගේ ද සහාය අපට අවශ්‍ය වෙනවා.

    උරුමය, අස්වැසුම සහ කඳුරට දශකය කියන මෙම වැඩසටහන් ත්‍රිත්වයම ක්‍රියාත්මක කිරීමට මහජන පෙළඹවීමක් අවශ්‍යයි. එම මහජන පෙළඹීම නොමැතිව මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට අසීරුයි. ඒ වගේම මේ පිළිබඳ ජනතාව දැනුවත් කළයුතුයි. ඒ සඳහා දේශපාලන ක්‍රියාකාරින්ගේ සහාය අත්‍යවශ්‍යයි. ජනාධිපතිතුමාගේ සංකල්පය ක්‍රියාත්මක කළ හැකි වන්නේ එම  සහාය මතයි.

    ඒ වගේම අස්වැසුම වැඩසටහන අද ක්‍රියාත්මක කර තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරය යටතේ උපරිමයෙන් ලැබුනේ රුපියල් 8000ක් වැනි මුදලක්. නමුත් අස්වැසුම වැඩසටහන හරහා රුපියල් 15,000ක උපරිමයකට යටත්ව ජනතාවට ප්‍රතිලාභ හිමි වෙනවා. පසුගිය ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව අතර දිළිදුකම වැඩි වුණා. රැකියා අහිමි වූ ප්‍රමාණය පමණක් ලක්ෂ 05 ක් වෙනවා. ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ රජයේ වගකීම හඳුනාගනිමින් අස්වැසුම ක්‍රියාත්මක කිරිමට රජය කටයුතු කළා. නමුත් අස්වැසුම හෝ සමෘද්ධිය අඛණ්ඩව ලබාදිමේ අදහසක් ජනාධිපතිවරයාට නැහැ. එම ජනතාව ආර්ථික වශයෙන් බලගන්වා ඇති හැකි අය බවට එනම් ස්ව ශක්තියෙන් නැගි සිටිය හැකි පිරිසක් බවට පත් කිරීම මෙම වැඩසටනේ අවසන් ඉලක්කයි. එසේනම් එම ඉලක්කය ජයග්‍රහණය කරවීමට අප මැදිහත්කරුවන් ලෙස ක්‍රියා කළයුතුයි.

    ඒ වගේම කඳුරට දශකය දිස්ත්‍රික්ක 10ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක 10 මූලික කර ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක් පුරා අඛණ්ඩව වසර 10ක වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක වෙනවා. කඳුරට දශකය වැඩසටහන මෙම වසරේදී  ආරම්භ කෙරෙන අතර සෞඛ්‍ය, පානීය ජලය, සනීපාරක්ෂක, මාර්ග ඇතුළු විෂයයන් 10ක් මුල් කරගනිමින් ආධාර ලබාදීම සිදු කෙරෙනවා.

    මේ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමේ වගකීම අප සියලුදෙනාටම පැවරෙනවා. පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවලින් බැහැරව ජනාධිපතිතුමාගේ මෙම සංකල්පය රටට වැඩදායි ලෙස ක්‍රියාත්මක කරමින් එහි උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබාදීම අප සියලුදෙනාගේ වගකීමක් වන බව කිවයුතුයි.

    ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා,

    2022 ජූලි මාසයේ දී ජනාධිපතිතුමා ආණ්ඩුව භාරගන්නා විට රටේ පැවති දේශපාලන සහ ආර්ථික තත්ත්වය පිළිබඳ මා අමුතුමෙන් සිහිපත් කළයුතු නැහැ. එවැනි තත්ත්වයක් අප ජීවිත කාලය තුළ කිසිදා අත්දැක නොතිබූ  අතර අසා තිබුණේ ද නැහැ. ඉතා ගැඹුරු සමාජ දේශපාලන අර්බුදයකට දිනපතා රට ගොදුරුවෙමින් සිටි බව අමතක නොකළ යුතුයි.

    ඉන්ධන, ගැස් හා විදුලි බලය නොමැතිව එදා ජනතාව පීඩාවට පත්ව සිටි අතර එම අවශ්‍යතා සැපිරීම සඳහා  සඳහා වැය කිරීම සතයක්වත් රජය සතුව තිබුණේ නැහැ. 2022 අප්‍රේල් 07දා ඩොලර් සංචිත වශයෙන් අපේ රටේ තිබෙණේ ඩොලර් මිලියන 19යි.

    එවැනි තත්ත්වයකට රට පත්ව තිබු අවස්වක් වසර 75ක ඉතිහාසය තුළ අප අසා තිබුණේ නැහැ. ගෑස් නැවක් පැමිණ වරායෙන් පිටත නවතා තිබුණා. එම ගෑස් ටැංකි ටික නිදහස් කර ගැනීමට ලක්ෂ 35ක් අප සතුව තිබුණේ නැහැ. එම මුදල සොයාගත නොහැකිව එම නෞකාවට ප්‍රමාද ගාස්තු ගෙවමින් තබා ගැනීමට අපට සිදු වුණා. එවන් තත්වයක තිබු රටක් තමයි අද ජනාධිපතිතුමා විසින් මේ ගොඩගමින් සිටින්නේ.

    ඉතා කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය යම්කිසි තත්ත්වයකට පරිවර්තනය කර ගැනීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ නිසා හැකියාව ලැබී තිබෙනවා. 2022  මහ බැංකුව සතුව තිබු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 19ක් බව මා පෙර සඳහන් කළා. නමුත්  2024 පෙබරවාරි මාසය වන විට ඩොලර් බිලියන 4.5ක විදේශ සංචිතයක්  පවත්වාගෙන යාමට මහ බැංකුවට හැකි වී තිබෙනවා.

    මේ අයුරින් ජනාධිපතිතුමා සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ගනු ලැබු ක්‍රියාමාර්ග නිසා ඉතාමත් කෙටි කාලයක් තුළ ආර්ථිකය ස්ථායිකරණය වන දිසාවට ගමන් කරන යහපත් ලකුණු අපට පෙනෙන්න තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya