අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

    මාර්තු 27, 2024

    චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (2024.03.27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි.


    ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එකඟවිය. ද්විපාර්ශික සබඳතා, රටවල් අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ අන්‍යෝන්‍ය ඵලදායීත්වය මත පැවැත්විය යුතු බව අවධාරණය කරමින් එම ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීම දෙරටටම හොඳ ආදර්ශයක් සපයන බව මෙහිදී අවධාරණය කෙරිණි.
    ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබාදෙන බවද චීන ජනාධිපතිවරයා මෙහිදී සහතික කළේය.
    දේශපාලන සහ සමාජ ආර්ථික ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන්ට චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා සහතික විය. මෙහිදී චීන ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරී භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සැම විට ම චීනය පෙනී සිටින බව යි.
    පැයකට ආසන්න කාලයක් පැවතී මෙම සාකච්ඡා වලදී අග්‍රාමාත්‍යවරයාගේ පිය පරම්පරාව චීනයට දැක්වූ සහාය පිළිබඳව චීන ජනාධිපතිවරයා ස්තුතිය පළ කළේය. අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය සහ ශ්‍රී ලංකාවේ සෙසු පක්ෂ චීන කොමියුනිස්ට් පක්ෂය සමග තවදුරටත් සහයෝගය නංවා ගැනීමට බලාපොරොත්තු වන බවද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.
    පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක දී ලබාදුන් සහාය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පුද කළේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේ ය. පාසල් අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍ය, තාක්‍ෂණය, සංස්කෘතිය සහ ආගම වැනි ක්ෂේත්‍ර සඳහා ලබාදුන් සහයෝගය පිළිබඳ ව ද අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාට ස්තූතිය පළ කළේ ය.
    රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන,ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya