අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් 9000ක් මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 1000ක් ලැබේ

    මාර්තු 22, 2024

    2023 මහ කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු සඳහා මේ වනවිට වී අලෙවි මණ්ඩලය ද අවතීර්ණව ඇත. වී මිල දී ගැනීමේ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500ක් ද, ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 500ක් ද වශයෙන් මේ වනවිට රුපියල් මිලියන 1000ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලැබී ඇත.  

    පසුගිය සඳුදා සිට (18)  වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය විසින්  ආරම්භ කළ අතර වී වගා කරන ලද සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා දෙකක් බැගින් මේ වනවිට විවෘත කර තිබේ.

    ගතවූ දින පහ තුළ වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගෙන ඇති වී ප්‍රමාණය වී කිලෝග්‍රෑම් 904,202කි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 95ක් බව වී අලෙවි මණ්ඩලය පවසයි. වී අලෙවි මණ්ඩලය විසින් දිවයිනේ වී වගා කරන ප්‍රදේශ කලාප හතකට බෙදා ඒ ඒ කලාපයේ වී මිල දී ගැනීම සඳහා මේ වනවිට ගබඩා 36ක් විවෘත කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.

    වී මිල දී ගැනීමේ කටයුතු සදහා අවශ්‍ය වුවහොත් කලාප 07 තුළ පිහිටි තවත් වී ගබඩා 241 ක් අවශ්‍ය මොහොතේ විවෘත කිරීම සඳහා සූදානම් කර ඇත. මෙම ගබඩාවල සමස්ත ධාරිතාවය මෙට්‍රික් ටොන් 271,400කි.

    වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කළ විට පුද්ගලික අංශය විසින් වැඩි මිලකට වී මිල දී ගැනීම ආරම්භ කළ අතර ඒ නිසා ගොවි ජනතාවට වී සඳහා මෙවර හොඳ මිලක් ලැබී තිබේ. නමුත් මේ වනතෙක් වී අලෙවි මණ්ඩලයට  ගොවීන් විසින් වී ලබා දීම සිදු නොකරයි.

    මෙතෙක් මිල දී ගෙන ඇති වී වලින් වැඩී ප්‍රමාණයක් රතු නාඩු වී වේ. එම ප්‍රමාණය කිලෝගෑම් 904,202කි.

    සුදු නාඩු වී ලැබී තිබෙන්නේ කිලෝ ග්‍රෑම් 4369ක් පමණි.

    කෙසේ වුවද වී  මිල දී ගැනීම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

    “වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. නමුත් මේ වනවිට වී අලෙවි මණ්ඩලයට ගොවි ජනතාව වී අලෙවි කරන්නේ නැහැ. මොකද ඊට වඩා ඉහළ මිලකට පුද්ගලික අංශය මිල දී ගන්නවා. අපි වී මිල දී ගන්නේ රජයේ සහතික මිලට. ඒ අනුව නාඩු (සුදු හා රතු) කිලෝවක් රු. 105ක්, සම්බා රු. 120ක් හා කීරි සම්බා රු. 130ටත් අපි ගන්නවා.අපි වී මිල දී ගැනීම ආරම්භ කළාට පසුව රුපියල් 80ට 85ට තිබුනු වී මිල දැන් 105 ඉක්මවලා තිබෙනවා.

    පුද්ගලික සහල් මෝල් අයිතිකරුවෝ ඊට වඩා ඉහළ මිලකට වී මිල දී ගන්න නිසා අපිට වී ලැබෙන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපිටත් අවශ්‍ය ගොවීන්ට හොඳ මිලක් ලබා දීම. නමුත් සමහර ගොවි නියෝජිතයෝ කියන දේශපාලන කණ්ඩායම්වල නියෝජිතයෝ  අපිට දොස් කියනවා. අපි කියන්නේ වී විකුණගන්න බැරි නම් අපිට දෙන්න. වී මිල දී ගන්න අපි සූදානම්. ඒ සඳහා රටපුරා තිබෙන වී ගබඩා අපි සූදානම් කරලයි තියෙන්නේ.

    අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන අපිට තිබෙනවා. මේ වනවිට රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබෙනවා. ඒ නිසා බොරුවට දොස් කියන්න එපා. වී විකුණගන්න බැරි තත්ත්වයක් අපේ රටේ නැහැ. විකුණගන්නම බැරි නම් අපිට දෙන්න. වී අලෙවි මණ්ඩලයට සුදු නාඩු වී අවශ්‍යයි. කවුරුහරි කියනවා නම් විකුණගන්න බෑ කියළා අපි ඒ ස්ථානවලටම ලොරි යවලා ඒවා මිල දී ගන්න සූදානම්” යැයි ද අමාත්‍යවරයා පැවසීය.                                                                                  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya