අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ ජනපතිගේ වැඩපිළිවෙළට ජපානයේ සහාය නිතැතින්ම හිමි වෙනවා – ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි

    මාර්තු 22, 2024

    බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය නිතැතින්ම හිමිවන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා සඳහන් කළේය.

    වැඩවසම් සමාජයක සිට නවීන රාජ්‍යයක් දක්වා ජපානය පැමිණි ගමන් මඟ පිළිබඳ සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග අතර පවතින සමානත්වය පෙන්වා දුන් තානාපතිවරයා ජපානය යළි නැගී සිටීමේදී පෙන්නුම් කළ ඔරොත්තු දීමේ හැකියාව ශ්‍රී ලංකාවට ආදර්ශයක් බව ද සඳහන් කළේය.

    ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි (MIZUKOSHI Hideaki) මහතා මේ බව සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාව ජපානයෙන් උගත යුතු ආර්ථික සංවර්ධනය හා නවීකරණය පිළිබඳ පාඩම්” යන මැයෙන් “Geopolitical Cartographer” ජාත්‍යන්තර පර්යේෂණ පදනම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) කොළඹ ග්‍රැන්බෙල් හෝටලයේ දී සංවිධානය කර තිබු විද්වත් කතිකාවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි
    “ජපානයේ නවීකරණය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ පාලනය සඳහා උගත යුතු පාඩම්” යන මැයෙන් සිය ප්‍රධාන දේශනය සිදු කළ තානාපතිවරයා ජපානයේ ඉතිහාසය තුළින් පෙන්වා දෙන අභියෝග ජයගැනීම, නූතන වෙනස්වීම් සඳහා අනුගතවීම සහ ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කිරීම ආදී අත්දැකීම් විස්තර කළේය.

    “Geopolitical Cartographer” යනු ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂිත අවධානයක් යොමු කරනු ලබන ජාත්‍යන්තර පර්යේෂණ පදනමක් වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘවරයා වෙයි.

    ගෝලීය දේශපාලන පිළිවෙළ ප්‍රතිනිර්මාණය කරනු ලබන ඉන්දියන් සාගරය, පැසිෆික් සාගරය සහ ඒ හා සම්බන්ධිත රාජ්‍යයන්හි භූ දේශපාලනික, භූ ආර්ථික සහ සමුද්‍රීය කටයුතු වර්ධනයන් පිළිබඳ අධ්‍යයනය කිරීම, පර්යේෂණ සහ විශ්ලේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම “Geopolitical Cartographer” හි අරමුණයි.

    මෙහිදී සිය දේශනය පවත්වමින් දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට ජාත්‍යන්තර වශයෙන් මුහුණ දීමට සිදු අභියෝගකාරී තත්ත්වය පිළිබඳ සිහිපත් කළ තානාපතිවරයා සමස්ත ලෝකයම ජපානයට එරෙහිව නැගී සිටියදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එදා සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවට සහභාගී වූ දිවංගත හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිදු කළ ප්‍රකාශය නිසා පශ්චාත් යුධ සමය තුළ ජපානයට නැවත ජාතයන්තර ප්‍රජාවට ඒකාබද්ධ වීමට මාර්ගය සකසා දුන් බව කෘතවේදීව සිහිපත් කළේය. එලෙස හිමිවූ අවස්ථාව ජපානය සිය රටේ ප්‍රතිස්ංස්කරණ සහ ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් භාවිතා කළ බව ද ඔහු සඳහන් කළේය.

    එදා සිට අද දක්වාම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවතින බවත් වර්තමානයේ දෙරටේ නායකයින් දෙපළ අතර එම සබදතා තවදුරටත් වැඩිදියුණු කරගනිමින් සමීපව පවත්වාගෙන යනු ලබන බවත් ජපාන තානාපතිවරයා සඳහන් කළේය.

    වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කැප වී සිටින ශ්‍රී ලංකාවට, ජපානය ආදර්ශයට ගනිමින් මෙම අභියෝග රටේ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා භාවිතා කළ හැකි බව ද සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ජපානයේ මෙන් තරගකාරී කර්මාන්ත ගොඩනැගීමේ වැදගත්කම පෙන්වා දුන් තානාපතිවරයා තරගකාරී අපනයන කර්මාන්ත බිහි කිරීම සඳහා කාර්මික ප්‍රතිපත්ති සැකසීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත්, ඒ තුළ තිරසාර සංවර්ධනය ඉලක්ක ජය ගැනීමේ අවශ්‍යතාවයත් අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා රජය විසින් වර්තමානයේ දූෂණ විරෝධී මෙහෙයුම් සම්බන්ධයෙන් ගෙන ඇති සාධනීය පියවර මෙහිදී අගය කළ මිසුකොෂි හිදෙයිකි මහතා එම ප්‍රයත්නයන් සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ද සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ජපානයේ ආධාර ලබාදීමට කටයුතු කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු ඇතුළු විවිධ ප්‍රයත්නයන් සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) වැනි ආයතන හරහා සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බවත් සඳහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් ජපානයේ ආයෝජන සිදු කිරීම සඳහා අවස්ථාව උදාවනු ඇතැයි බලාපොරොත්තුවන බව ද ඔහු සඳහන් කළේය.

    මෙම දේශනයෙන් අනතුරුව ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා සහභාගී වූ විද්වත් කතිකාවක් ද පැවැත්වුණු අතර ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා විසින් එම විද්වත් කතිතාව මෙහෙයවනු ලැබීය.

    හිටපු කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, කාවින්ද ජයවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පර්යේෂණ ආයතන නියෝජිතයින්, සම්භාවනීය ආරාධිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya