අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසදන්න රජය කැපවී සිටිනවා - වෙළෙඳ ඇමති

    මාර්තු 17, 2024

    මෙරට ආර්ථිකය සදහා විශාල දායකත්වයක් සපයන සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් හා ක්ෂේත්‍රයේ  නියුතු අනිකුත් පාර්ශවයන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ හා  පහසුකම් සලසා දෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කරන ලදී.

    අමාත්‍යවරයා මේ බව සදහන් කලේ පසුගිය දින (15) වනදා බත්තරමුල්ල වෝට(ර්)ස් එජ් හෝටල් පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ බස්නාහිර පළාත් ශාඛාවේ සම්මාන රාත්‍රිය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර එකහමාරක් තිස්සේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ වැඩිම බලපෑමකට ලක්වූ ක්ෂේත්‍රයක් වූයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය බවයි. බැංකු පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය ඉහළ යාම, බලශක්ති අර්බුදය ආදී තත්ත්වයන් තුළ ක්ෂේත්‍රය ගැටලු රැසකට මුහුණ පෑ බව ඔහු සදහන් කරන ලදී. ඒ අනුව රජය විසින් මේ ක්ෂේත්‍රය ආරක්ෂා කිරීමට විශාල වෑයමක් ගත් බවත්, වසර එකහමාරකට පසු මේ 2024 වර්ෂය සදහා රජය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව විශාල මුදලක් වෙන් කර ඇත්තේ යලි ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අරමුණින් බව ඔහු සදහන් කරන ලදී.

    රජය විසින් නිසි ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම නිසා බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමටත්, සෘණ තත්ත්වයක් වාර්තා කල රටේ ආර්ථිකය ඉක්මනින් ධන ආර්ථිකයක් බවට පරිවර්තනයටත්, උද්ධමනය සැලකිය යුතු අන්දමින් පහත හෙලීමට හැකිවූ බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් තරන ලදී. එම හිතකර පරිසරය තුළ රජය ඉදිකිරීම් කටයුතු වල නියැලෙනවාට වඩා එය අභිබවා පෞද්ගලික අංශය ඉදිකිරීම් කටයුතු වල නියැලීම රටේ ආර්ථිකයට වඩා වැදගත් බව අමාත්‍යවරයා සදහන් කරන ලදී. ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත සිමෙන්ති, යකඩ ඇතුළු අමුද්‍රව්‍ය සැපයුම් ආශ්‍රිත භාණ්ඩ වල මිල ගණන් පහළ හෙලීමට තමන් දිගින් දිගටම ඔවුන් සමග සාකච්ඡා කල බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.

    මේ වන විට රජය විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම සදහාත්,ආනයන හා අපනයන අතර මනා කළමණාකරණයක් ගොඩ නංවා ගැනීම සදහාත් විශාල වැඩකොටසක් ඉටු කර ඇති බව අමාත්‍යවරයා සදහන් කරන ලදී. ප්‍රථම වතාවට මුදල්  නෝට්ටු මුද්‍රණය කිරීමකින් තොරව දේශීයව ලබා ගන්නා ආදායමින් ආර්ථිකය කළමණාකරණය කිරීමට රජය සමත් වූ බවත්, බදු ආදායම ඉහළ නංවා ගැනීමට සමත් වූ බවත්, එම බදු මුදල් විනිවිදභාවයෙන් හා වගකීමෙන් ජනතාවට සහන සැලසීම සදහා යෙදවීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කරන ලදී.

    අමාත්‍යවරයා අතින් සම්මාන ප්‍රධානයක්ද මෙහිදී සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සදහා නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස් සත්‍යානන්ද මහතා, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්.ඩී පෝල් මහතා හා එම සංගමයේ බස්නාහිර පළාත් ශාඛාවේ සභාපති ඩී.ඒ දුමින්ද මහතා ඇතුළු මහත්ම මහත්මීන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ආයතන හා සමාගම්හි සභාපතිවරුන් හා ප්‍රධාන විධායක නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya