මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධාන්‍ය ආනයනය සඳහා වැය වන විදෙස් විනිමය ඉතිරි කිරීමට දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් – රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්

    ඔක්තෝබර් 06, 2023

     

    ධාන්‍ය ආනයනය සඳහා රජය විසින් වැය කරන විදේශ විනිමය ඉතිරි කිරීමේ අපේක්ෂාවෙන් ග්‍රාමීය ප්‍රදේශයන්හි වගා කටයුතුවල යෙදී සිටින ජනතාවට ධාන්‍ය වර්ග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ සැපයීම මෙන්ම වෙළෙඳපොළ අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් සිය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇති බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා පැවසීය.

    මන්නාරම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දියත් කළ මෙම වැවැඩපිළිවෙළ ඉදිරියේදී රට පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

    ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ‍මෙසේද පැවසීය,

    රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ පසුගිය කාලය තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. එම වැඩසටහන් නිසා රට මේ වනවිට ක‍්‍රමානුකූලව ඉදිරියට යනවා. ඒ පිළිබදව අප සියළු දෙනාගේම ස්තුතිය ජනාධිපතිතුමාට හිමි විය යුතුයි. ඒ වගේම එතුමා කරගෙන යන ව්‍යාපෘතිවලට අපගේ උපරිම සහයෝගය ලබාදිය යුතුයි.

    ඒ අනුව අපේ රාජ්‍ය අමාත්‍යාංශය ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීමට කටයුතු කරගෙන යනවා. ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරමින් රටේ ආර්ථික සංවර්ධනයට ග්‍රාමීය ජනතාවගේ සහභාගිත්වය වැඩි කර ගැනීමේ අරමුණින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

    ග්‍රාමීය ප්‍රදේශයන්හි වගා කටයුතුවල නිරත ජනතාවට අත්‍යවශ්‍ය බීජ ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම ධාන්‍ය වර්ග වගා කිරීමට අවශ්‍ය බීජ ලබා දීමටත් ඒවාට වෙළඳපොළ අවස්ථා ලබාදීමටත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙවර මන්නාරම දිස්ත්‍රික්කයෙන් පමණක් මුං ඇට මෙට්‍රික් ටොන් 950ක් පමණ ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

    මේ හරහා අපට රටට ධාන්‍ය ආනයනය සඳහා වැය කරන විදේශ විනිමය ඉතිරි කර ගත හැකියි. මෙම වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අප එළු ගොවිපළ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආධාර ලබාදී තිබෙනවා. මෙම වැඩසටහන මගින් කුඩා පරිමාණ ග්‍රාමීය මට්ටමේ එළුවන් ඇති කරන්නන් වසර 3-4කින් පමණ විශාල එළු ගොවිපළවල් හිමි ව්‍යාපාරිකයන් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා.

    “හද බිම” අධිකාරිය හරහා වගාවට අවශ්‍ය පැළ ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන අතර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට කුකුළු පාලනය සඳහා පැටවුන් ලබාදීම ද සිදු කරනවා. එපමණක් නොවෙයි තරුණ ගොවි ගම්මාන නිර්මාණය කිරීමේ කටයුතු ද අපේ අමාත්‍යාංශය මගින් විවිධ ප්‍රදේශවල සිදු කරනවා. මේ සඳහා අපි අනෙකුත් අමාත්‍යාංශවල සහයෝගයත් ලබාගෙන තිබෙනවා. එම වැඩසටහනට අනුව ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත ගම්මාන බවට පත් කිරීමට අවශ්‍ය ආකාරයට අපේ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා.

    ඒ වගේම දිවයිනේ විවිධ පළාත්වල ආර්ථික මධ්‍යස්ථාන ඇති කිරීමටත් කටයුතු කරනවා. දැනටමත් වැඩ අවසන් කර විවෘත කර නොමැති ආර්ථික මධ්‍යස්ථාන හැකි ඉක්මනින් විවෘත කිරීමටත් අප කටයුතු කරනවා.

    කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලැබෙන ග්‍රාමීය ප්‍රදේශවල වැව් සහ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද ජනාධිපතිතුමා විසින් ලබා දී තිබෙනවා. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුද හමුවේ වුව ද ගොවි ජනතාව ආරක්ෂා කර ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ලබාදෙන සහයෝගය ද කෘතවේදීව සිහිපත් කරනවා.

    මෙවර “ජාතික මිලාද් උත්සවය” මන්නාරම දිස්ත්‍රික්කයේ පැවැත්වෙනවා. ඊට සමගාමීව විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා තිබෙන බව කිවයුතුයි. මෙම වැඩසටහන්වල ප්‍රතිලාභ මන්නාරම දිස්ත්‍රික්කයේ සියළු ජනතාවට හිමි වීම එහි විශේෂත්වයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya