මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්තමාන ආර්ථික අභියෝග හමුවේ රට හැර යනවා ද? නැද්ද? යන්න බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතුයි

    ඔක්තෝබර් 06, 2023

     

    • 2024 මෙරට ආර්ථික වර්ධනය නැවත ආරම්භ කරන වසරයි.

    ජනපති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී පවසයි.

    ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැර යනවා ද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදු විය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බව සඳහන් කළ ජනාධිපතිවරයා සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බව ද පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී   (04) පැවති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

    ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් 246 දෙනෙක් මෙහිදී උපාධිය ලබා ගත්හ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    ත්‍රිවිධ හමුදාවට බඳවා ගැනීමේ නිලධාරීන් ලෙස ද තවත් අය සිවිල් අංශ නියෝජනය කරමින් ද අවස්ථා හඹා යෑම සඳහා රටින් පිටවීම හෝ රැඳී සිටීම මෙම උපාධි ලබාන්නා ඔබ තීරණය කළ යුතුයි.

    නමුත් රටේ තිබෙන ආර්ථික අභියෝග ජයගැනීම සඳහා බුද්ධිමත් මානව සම්පතක් රටට අවශ්‍යව තිබෙනවා. එම නිසා නිසි තීරණයකට එළැඹෙන ලෙස මෙහි සිටින බුද්ධිමත් උපාධිධාරින්ට මම යෝජනා කරනවා.

    මෑත වසර කිහිපයේ දී ජාතියක් ලෙස අප විවිධ දුෂ්කරතාවන්ට සහ අවිනිශ්චිතතාවන්ට මුහුණ දුන්නා. ඒ හමුවේ තම අනාගතය සැලසුම් කිරීමේ දී විදේශගතවීමට බොහෝ අය පෙළඹී සිටිනවා.

    කෙසේ වුවත් පහසු ගමනක් නොවූවත් ශ්‍රී ලංකාව අද ස්ථාවරත්වයේ සහ ආර්ථික ප්‍රකෘතියේ මාවතේ ගමන් කරන බව මම කියන්න කැමතියි. උද්ධමනය පාලනය කිරීමත් සමඟ ආදායම් උත්පාදනය තුලනය කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා.

    2024 මෙරට ආර්ථික වර්ධනය නැවත ආරම්භ කරන වසර ලෙස හඳුන්වා දිය හැකියි. අප රටක් ලෙස අභියෝගයකට මුහුණ දුන් සෑම අවස්ථාවකම උපාධිධාරී බුද්ධිමත් ප්‍රජාව තමන්ගේ කාර්යභාරය නිසි අයුරින් ඉටු කර තිබෙනවා.

    ඉදිරි වසර 10 තුළ විවිධ ආර්ථික අභියෝගවලට සංවර්ධිත රටවලට ද මුහුණදීමට සිදු විය හැකියි. කැනඩාව සහ යුරෝපය බොහෝ සංවර්ධිත ආර්ථිකයක් පැවතුනත් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටිනවා. මෙම ආර්ථික තත්ත්වයන් තුළ ඔබේ අනාගතය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එය අභියෝගයක් බව හඳුනා ගැනීම අවශ්‍යයි.

    ඔබ මෙහි රැඳී සිටිමින් වෘත්තීය කටයුතුවල නිරත වන්නේ නම් රටේ සංවර්ධනයට දායක වෙමින් අදට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් රට තුළ ඇති කිරීමේ වගකීම ඉටු කළ හැකියි.

    ඔබ එම වගකීමේ කොටස්කරුවන් වෙමින් රටේ සංවර්ධනයට දායක වනවා ද? නැද්ද? කියා තමන්ම තීරණය කරන්න. අවශ්‍ය නම් මෙම උපාධිය සමග විදේශ ගත වීමේ හැකියාව ඔබට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව මුහුණ පා සිටින වත්මන් ආර්ථික තත්ත්වයෙන් මුදවා ගැනීමට නම් තරගකාරී ආර්ථිකයක් කරා රට ගෙන යා යුතුයි. ඒ වගේම රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතුයි.

    ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 450කට වඩා තිබෙනවා. එම පුහුණු මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල හා විද්‍යායතන බවට පත් කළ යුතුයි. එමගින් වෘත්තීය නිපුණත්වයක් ඇති පුරවැසියන් රට තුළ නිර්මාණය කළ හැකියි. වෘත්තීය නිපුණත්වයක් ඇති පුරවැසියා සමඟ ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුමින් සන්නද්ධ පිරිසක් ලෙස අනාගත පරපුර ගොඩනැගිය යුතුයි.

    එසේම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් යන දෙඅංශයම පිළිගන්නා අධ්‍යයන ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීම ඉතාම වැදගත් බව මම පෙන්වාදීමට කැමතියි.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ , නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුද, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති විශ්‍රාමික ජෙනරාල් එස්.එච්.එස් කෝට්ටේගොඩ, උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර යන මහත්වරුන් සහ පීඨාධිපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya