මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් රචිත “The Right Eye” ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 26, 2023

    ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුයි – ජනපති

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් රචිත “The Right Eye” ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් (24) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සිදු විය.

    කෘතියේ පළමු පිටපත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ අතර අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් වෙත කෘතිය පිළිගන්වනු ලැබිණ.

    මනූෂ නානායක්කාර මහතා විසින් වසර 23කට පෙර මාධ්‍යවේදියෙකු ලෙස ආරම්භ කරන ලද ගවේෂණයක අවසන් ප්‍රතිඵලය මෙලෙස ග්‍රන්ථයක් මගින් එළිදක්වා තිබේ.

    ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ ඉතිහාස පිළිබද දක්ෂිණාංශික විග්‍රහයක් සහිතව එක් ග්‍රන්ථයකින් කියවීමේ අවස්ථාව මෙමගින් හිමිවන අතර සමස්ත කම්කරු ව්‍යාපාරය හා අනාගත ශ්‍රම වෙළදපොළ සම්බන්ධයෙන් වන පැහැදිළි දැක්මක්ද ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර තිබේ.

    කම්කරු ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට ලියවී ඇති සියලුම ග්‍රන්ථ සහ ප්‍රකාශන අධ්‍යනයන කර කම්කරු ඉතිහාසයේ සැගවුන සිදුවීම්වල යතාර්ථය කරළියට ගැනීමට මෙමගින් උත්සාහ ගෙන ඇත.

    මෙම කෘතියේ සම්පූර්ණ කර්තෘ භාගය සහ ආදායම සිරම්බිඅඩිය ප්‍රදේශයේ ජීවත්වන ශ්‍රී ලංකාවේ කැෆර් ජනතාවගේ සහ කම්කරුවන්ගේ දරුවන්ගේ සුභසාධනය සඳහා වෙන් කර තිබීම විශේෂත්වයකි.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බවයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය,

    කම්කරු ව්‍යාපාර සියල්ලම බිහි වූයේ කර්මාන්තකරණයෙන් පසුවයි. කර්මාන්තකරණය නොතිබුණා නම් මෙලෙස කම්කරු ව්‍යාපාරයක් ඇතිවෙන්නේ නෑ. ඒ නිසා මේ කර්මාන්ත තුළින් කම්කරු යුගය ආරම්භ වුණා. විශේෂයෙන්ම කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් වලින් පස්සෙ තමයි කම්කරු ව්‍යාපාරය කොටස් දෙකකට බෙදුනේ, 2nd International & 3rd International කියලා.

    නමුත් ලංකාවේ කම්කරු ව්‍යාපාරය ආරම්භ වුණේ කර්මාන්තවලින් නොවෙයි. අපේ රටේ කර්මාන්ත තිබුනේ නෑ. කරත්තකාරයන්ගේ අරගලය ගැන කතා කළොත්, එතන කර්මාන්ත තිබුණේ නෑ. අපේ වෘත්තීය සමිති ඇතිවුණේ රජයේ සේවකයන් මාර්ගයෙන්. කර්මාන්ත තිබුණා නම් වරාය, ඛනිජ තෙල් සමාගම්, නැත්නම් බස් සමාගම්. ඒ සියල්ලත් රජයට ගත්තා. ඇත්ත වශයෙන්ම මේ ව්‍යාපාරය ඇතිවුණේ රජය තුළ.

    අද වන විට කම්කරුවන් කම්කරු පන්තියේ සිට මැද පන්තියට පැමිණ තිබෙනවා. අද කම්කරුවන් විදිහට හඳුන්වන්නේ පුහුණුව ලැබූ අය. සේවක පිරිස් ලෙස ඔවුන්ගේ අවශ්‍යතාවයන් මීට වඩා වෙනස්.

    අද බටහිර බොහෝ දෙනෙක් 25-30% වැඩපොළක් නැතුව වැඩකරනවා. එතකොට කොහොමද සංවිධානය වෙන්නේ. ගෙදර ඉඳන් වැඩ කටයුතු කරන්න පුළුවන්.

    කැමති වෙලාවක වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. මෙය අලුත් විදියකටයි සිදු වන්නේ. මේ පිළිබඳව මනුෂ නානායක්කාර මහතා ඉතා හොඳ විග්‍රහයක් මෙම කෘතිය තුළ සිදු කර තිබෙනවා.

    මේ සමඟ අප ඉදිරියට යන්නේ කෙසේද කියා එතුමාට සිතන්න තිබෙනවා. අපේ වෘත්තීය සමිතිත් මාර්ගගත ක්‍රමයට ගන්නවාද? අලුතින් වෘත්තීය සමිති බිහි කරනවාද කියා සිතිය යුතුයි. මෙම වෘත්තීය සමිති ව්‍යාපාරය අතීතයේ බිහිවුණේ ජනතාව එක්රැස්වීම අරමුණු කරගෙනයි. නමුත් අද වන විට එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ . එම වෙනසත් සමඟ කම්කරු ව්‍යාපාරය සංවිධානය කරන්නේ කෙසේ ද කියා අපට අලුතින් සිතීමට තිබෙනවා. එය අපේ මනුෂ නානායක්කාර මහතාට මම භාර දෙනවා.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා;

    “මම දේශපාලනයට එද්දි අපි ගරු කරපු හා අපි ගුරු කොට ගත් අනාගතවාදී නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපිට මේ වගේ විවිධ විෂයන් ගැන අධ්‍යයනය කරන්න හදාරන්න දේශපාලනයත් සමඟම මග පෙන්වීම ලබා දුන්නේ ජනාධිපතිතුමා. රනිල් වික්‍රමසිංහ කියන අනාගතවාදී නායකයා රට වෙනුවෙන් තීන්දු ගත්ත හැම මෙහොතකදිම රටේ ජනතාව ඔහුව පරාජයට පත් කරා. නමුත් ඒ පරාජයට පත් කරපු සෑම අවස්ථාවකදීම අවුරුද්දක් යන්න කළින් රට භයානක ප්‍රතිවිපාක වලට මුහුණ දුන්නා.

    අනාගතය ගැන දැක්මක් තිබෙන කෙනෙක් තමයි අපේ ජනාධිපතිතුමා. එතුමා තරම් මේ රටේ අනාගතය ගැන වෙන කවුරුත් දකින්නේ නෑ. මැතිවරණයේදී ජනතාව මොන තීන්දුවක් දුන්නත්, රටත්, ජනතාවත් අගාධයට වැටි තිබූ අවස්ථාවේ, නොබියව අභියෝගය භාරගන්න ඉදිරිපත් වුණේ ඔබතුමා. ඒ නිසයි මම ඔබතුමාට මේ පොත පළමුවෙන්ම පිළිගන්වන්නේ. අපි අද වෙනකොට එම අභියෝගය ජයග්‍රහණය කර තිබෙනවා.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජේදාස රාජපක්ෂ, මහින්ද අමරවීර, ටිරාන් අලස්, රාජ්‍ය අමාතවරුන් වන ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, වඩිවේල් සුරේෂ්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් ඇතුළු විදේශීය සංවිධාන නියෝජිතයින් ද, දේශපාලන ක්‍රියාකාරීන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, වෘත්තීය සමිති නියෝජිතයින් සහ දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya