මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමා කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි

    සැප්තැම්බර් 23, 2023

    විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව  විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අවධාරණය කළේය.

    විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT )පිළිබඳ යුරෝපා සංගමයේ 14 වන වගන්තියේ සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළේ  පසුගිය ජූලි මාසයේ දී විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ශ්‍රී ලංකාව නිල වශයෙන් අනුමත කළ බවත් එය න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම පිළිබඳ රටේ දීර්ඝකාලීන සහ ස්ථාවර ප්‍රතිපත්තිය සමඟ අනුකූල වන බවත්ය.

    1996 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට       ( CTBT)   අත්සන් තැබීමත් සමඟ, ඊට අත්සන් තැබූ  පළමු රටවල් අතර 13 වන ස්ථානයට මෙරට පත් වූ බවත්, එය කැපී පෙනෙන කරුණක් බවත් සඳහන් කළ අලි සබ්‍රි මහතා  මහනුවර පල්ලේකැලේ  සහායක භූ කම්පන මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කළ බව පැවසීය.

    සම්මුතිය බලාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO)  විධායක අධ්‍යක්ෂ ෆ්ලොයිඩ් මහතා ඇතුළු කණ්ඩායම සිදුකරන කැපවීම ද මෙහිදී  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ඇගයීමට ලක් විය.

    තවද, ශ්‍රී ලංකාව 1996 දී ගිවිසුමට අත්සන් තැබූ දින සිට ස්ථානීය පරීක්‍ෂණ (OSI) අංශය සමඟ සමීප සහයෝගීතාව ඇතුළුව න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයෙහි ( CTBTO) වැඩකටයුතු සඳහා ක්‍රියාකාරීව සහාය ලබා දී තිබෙන බවත්, ලොව පුරා සිටින තාක්ෂණික විශේෂඥයින් ඇතුළු 180 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 වසරේ දී පැවැත්වෙන මීළඟ ස්ථානීය පරීක්‍ෂණ ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාසය (OSI) සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින්  සපයන බවත් අමාත්‍යවරයා  සඳහන් කළේය.

    මෙය අභ්‍යාසය  විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ  (CTBTO)  ස්ථානීය පරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමට සහ තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවස්ථා හඳුනා ගැනීමට තීරණාත්මක අවස්ථාවක් බවද අමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට අත්සන් තබා මෙම වසරට, වසර 26 ක් සපිරෙන අතර ගෝලීය න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා පාලන තන්ත්‍රයේ මූලික  සන්ධිස්ථානයක් ලෙස එහි වැදගත්කම ද අමාත්‍යවරයා විසින් අවධාරණය කරනු ලැබීය.

    විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT ) න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට එරෙහිව සැලකිය යුතු සාමූහික විශ්වාසයක් ගොඩනැංවීමට කටයුතු කරන අතර, සීතල යුද සමයේ භයානක න්‍යෂ්ටික අවි තරඟය ඵලදායි ලෙස පාලනය කිරීමට සමත් විය.

    මීට අමතරව, ගිවිසුමේ සත්‍යාපන තන්ත්‍රය න්‍යෂ්ටික නිරායුධකරණයෙන් ඔබ්බට යමින් සිවිල් සහ විද්‍යාත්මක අරමුණු දක්වා විහිදෙන යෙදුම් සමඟ ශක්තිමත් ජාත්‍යන්තර නිරීක්ෂණ පද්ධතියක් සහ ජාත්‍යන්තර දත්ත මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත.

    නැඟී එන භූ දේශපාලනික ආතතීන් සහ මෑතකාලීන අභියෝග හමුවේ, න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සමාලෝචන සමුළුවේදී, ගෝලීය ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමෙහි (CTBT) තීරණාත්මක කාර්යභාරය පෙන්වා දුන් අලි සබ්‍රි මහතා  අනුමත කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

    න්‍යෂ්ටික අවිහරණය සහ නිරායුධකරණය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ස්ථිරව පවතින බවත්, මෙම තීරණාත්මක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටත් අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.

    න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම (NTPNW ) වෙත ශ්‍රී ලංකාව ප්‍රවේශවීමේ නිත්‍යනුකූල ලේඛනය  පසුගියදා බාර දුන් බවද සඳහන් කළ අලි සබ්‍රි මහතා  විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT) අනුමත කිරීම මගින් න්‍යෂ්ටික අවිහරණය සහ නිරායුධකරණය හරහා ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාවේ තිරසර කැපවීම නැවතත් තහවුරු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya