මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට නම්  ලෝකයේ විශ්වාසය දිනා ගත යුතුයි – සාගල රත්නායක මහතා

    සැප්තැම්බර් 22, 2023

     

    ජාත්‍යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට නම් ලෝකයේ රටවල විශ්වාසය දිනා ගත යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

    ඒ සඳහා ජාත්‍යන්තරයේ පවතින සම්ම්ත නීති රෙගුලාසි සමඟ අපද අනුගත විය යුතු බවත් ඊට අනුකූලව ආර්ථිකය හසුරුවා ගැනීම මඟින් ජාත්‍යන්තර ආර්ථිකය සමඟ ඉදිරියට යා හැකි බවත් සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලීය ලියෝ සමාජය (LEO CLUB OF ROYAL COLLAGE) විසින් සංවිධාන කළ, තෝරාගත් ආගමික ස්ථාන, පාසල් හා වැඩිහිටි නිවාසවලට උපකරණ කට්ටල බෙදා දීම වෙනුවෙන් (21) පැවැති උත්සවයට එක්වෙමිනි.

    කොළඹ රාජකීය විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේදී, තෝරා ගත් ආගමික සිද්ධස්ථාන හා වැඩිහිටි නිවාස සඳහා චීන රජයේ අනුග්‍රහය යටතේ ලබා දෙන ලද සූර්ය බල පද්ධති බෙදා දීම, තෝරා ගත් පාසල් කිහිපයකට ක්‍රිකට් උපකරණ කට්ටල ලබා දීම හා තෝරා ගත් පාසල් සිසුන් සඳහා පාසල් බෑග් බෙදා දීම සිදු කෙරිණි.

    ආර්ථික කළමනාකරණය විනිවිදභාවයකින් සිදු කිරීම මඟින් ජාත්‍යන්තර ආයෝජකයාගේ විශ්වාසය ඇති වන බවත් ආයෝජකයින් සිය මූල්‍ය යොදවන්නේ සුරක්ෂිත ආර්ථිකයක් හිමි රටවල් සමඟ බවත් රත්නායක මහතා පෙන්වා දුන්නේය.

    එබැවින් ආයෝජකයන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීම වන අතර ඒ සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා පුරවැසියාගේ වගකීම ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරුවන ආකාරයට කටයුතු කිරීම බව ද කියා සිටියේය.

    2048 වන විට ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීමටත්, 2050 වන විට පරිසරයට එකතුවන විෂ වායු අවම කිරීම හා පරිසර හිතකාමී (NEX -0) වැඩසටහන් ආරම්භ කිරීමටත් ජනාධිපතිතුමා ප්‍රතිඥා දී තිබෙන බව සඳහන් කළ සාගල රත්නායක මහතා එම වැඩසටහන් සඳහා සියලු පුරවැසියන්ගේ දායකත්වය අපේක්ෂා කරන බවද වැඩිදුරටත් පැවසීය.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් (Qi Zhenhong), කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ලියෝ සමාජයේ නිලධාරීන් සහ සමාජිකයින් මෙන්ම රාජකීය විද්‍යලයේ ගුරුවරුන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya