මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල ඇනුමැතියට යොමුකර තිබෙනවා

    සැප්තැම්බර් 07, 2023

     

    • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ද සංශෝධනයට පියවර ගෙන තිබෙනවා.
    • වාර්ෂිකව මිලියන 7000ක විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීමේ ඉලක්කය මෙම වසරේදීම ළඟා කර ගැනීමට හැකිවන බව විශ්වාසයි – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර.

    විශේෂඥයින්ගේ සහාය ඇතිව මෙරට විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය වෙනුවන් ජාතික විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් කර එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, ඊට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත ද පූර්ණ සංශෝධනයකට ලක්කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිවන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය.

    2022 වර්ෂයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශයේ වගකීම් භාරදෙන විට ලබාදුන් වාර්ෂිකව මිලියන 7000ක විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීමේ ඉලක්කය මෙම වසරේදීම ළඟා කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය තැබිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා,

    “අප මෙම අමාත්‍යාංශය භාරගන්නා විට මේ රට තිබුණේ ආනයනික තෙල් නැවකටවත් මුදල් ගෙවා ගත නොහැකි තත්ත්වයකයි. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ගනු ලැබූ දුර දක්නා තීන්දු තීරණ නිසා වසරක කෙටි කාලයක් තුළ රටේ වගේම, විදේශ රැකියා ක්ෂේත්‍රයේ ද සැලකිය යුතු පරිවර්තන රාශියක් සිදු කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

    විශේෂඥයන්ගේ පූර්ණ සහාය ඇතිව මෙරට විගමණික ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය වෙනුවන් ජාතික විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් කර, එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ලැබීම ඒ අතුරින් ප්‍රධාන වෙනවා.

    මෙය රටක් ලෙස අප ලැබූ විශාල ජයග්‍රහණයක් වගේම රටට ඩොලර් උපයා දීමට වෙහෙසෙන විදේශගත ශ්‍රමිකයින්ගේ ශ්‍රමයට වටිනාකමක් ලබාදීමට ලැබුණු අවස්ථාවක් ලෙස සඳහන් කළයුතුයි. ඒ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා ලෙස මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එම විදේශ රැකියා ජාතික ප්‍රතිපත්තියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇතැයි ද මම විශ්වාස කරනවා.

    එම කටයුත්තට සමගාමීව මිනිස් ජාවාරම අවම කිරීම, අධිකරණ හා විමර්ශන කටයුතු පුළුල් කිරීමේ හා විදේශ රැකියා නියෝජිතායතන තවදුරටත් නියාමනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත ද පූර්ණ සංශෝධනයකට ලක් කිරීමේ කටයුත්ත ද මේ වනවිට සිදුවෙමින් පවතිනවා.

    2022 වර්ෂයේ විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා ලියාපදිංචිවී ශ්‍රී ලංකිකයින් 311,056 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, 2023 වර්ෂයේ අද දිනය වන විට 200,000කට ආසන්න සංඛ්‍යාවක් කාර්යංශයේ ලියාපදිංචිවී විදේශ ගතව තිබෙනවා.

    2022 වර්ෂයේ දී රටට ලැබුණු මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 3789.40ක්. 2023 වර්ෂයේ ජූලි දක්වා ලැබී ඇති මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 3363.6ක්. මේ ආකාරයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වීමේ ප්‍රවණතාවය ඉහළ යාම ඉතා හොඳ තත්ත්වයක් බව කිවයුතුයි. මේ නිසා ජනාධිපතිතුමා අපට ලබාදුන් වාර්ෂිකව මිලියන 7000ක විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීමේ ඉලක්කය මෙම වසරේදීම ළඟා කර ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.

    පසුගිය කාලවල ඇතැම් නායකයින් ශ්‍රී ලංකා මහබැංකුව හරහා වරලත් බැංකුවලට විදේශ ප්‍රේෂණ සිදුකරන්නේ නැතිව “හවාලා හෝ උණ්ඩියල්” වැනි ක්‍රමවේද අනුගමනය කරන ලෙස වැරදි උපදේශ ලබාදුන්නා. නමුත් එවැනි කටයුතු හේතුවෙන් ආනයනික ඉන්ධන නෞකාවක් වෙනුවෙන් ගෙවීමට පවා නොහැකි වන ලෙස විදෙස් සංචිත දුර්වලව යන බව අවබෝධ කර ගැනීමට තරම් හැකියාවක් ඔවුන්ට තිබුණේ නෑ. එවැනි කටයුතුවලින් අපහසුතාවට පත් වෙන්නේ මේ රටේ අහිංසක ජනතාව බව අවබෝධ කරගන්න ඔවුන්ට හැකියාවක් තිබුණේ ද නැහැ. නමුත් මේ වන විට එම ක්‍රමවේද අත්හැර බැංකු කෙරෙහි විශ්වාසය තැබීමට විදේශ ගත ශ්‍රමිකයින් යොමුව තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍යාංශය ලෙස අප විදේශගත ශ්‍රමිකයින්ගේ සුභසාධනය සහ අභිවෘද්ධය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා. විදේශ රැකියා නියෝජිතායතන නියාමනය කිරීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පූර්ණ බලය තිබෙනවා. ඒ යටතේ අපිට විධිමත් ලෙස ලැබෙන සියලුම පැමිණිලි විදේශ රැකියා නියෝජිතායතන සියල්ලක්ම කාර්යංශයේ විමර්ශන අංශය විසින් වැටලීම් සිදු කර තහනම් කර නඩු පැවරීම් ද සිදු කර තිබෙනවා. ඒ වගේම ලියාපදිංචි ඇති 1005ක විදේශ රැකියා නියෝජිතායතන ප්‍රමාණය ද විටින් විට පරීක්ෂා කිරීම්වලට ලක් කර, ඒවායේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිරීක්ෂණය වෙනවා නම් ඊට විරුද්ධව ද අපි කටයුතු කර තිබෙනවා.

    මම කෝප් කමිටු සාමාජිකයෙකු වන නිසා ඇතැම් ගැටලු කෝප් කමිටුව දක්වාම ගෙන ගොස් තිබෙනවා. විගමනික ශ්‍රමිකයින් වගේම ඔවුන්ගේ පවුල්වල අය, දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ද අප අමාත්‍යාංශය ලෙස කටයුතු කර තිබෙනවා. විදේශ රැකියාවක් සඳහා ලියාපදිංචි වන සෑම ශ්‍රී ලංකිකයෙකුටම නොමිලයේ රක්ෂණාවරණයක් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. අඩු ආදායම්ලාභී විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම, විදෙස් රැකියාවල නිරතවී සිට විවිධ අනතුරුවලට ලක්ව නැවත රෙටට පැමිණෙන ශ්‍රමිකයන් වෙනුවෙන් අවශ්‍ය සහන ලබාදීම වගේම, ලියාපදිංචි නොවී විදේශගතව සිට විවිධ ගැටලු සහ අනතුරුවලට ලක්වන පිරිස් වෙනුවෙන් ද අමාත්‍යාංශය ලෙස වගේම ඇතැම් අවස්ථාවල පුද්ගලිකවත් සොයාබලා කටයුතු කිරීමට අපි ක්‍රියා කර තිබෙනවා.

    විදේශගත වන ශ්‍රී ලාංකිකයින් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම, විවිධ රටවලට අවශ්‍ය ඔවුන්ගේ භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීමට ද අපි කටයුතු කර තිබෙනවා. ඒ වගේම විදේශ රැකියා වෙළෙඳපොළ අවස්ථාවන් ගැන දැනුවත් කිරීමට සහ අවශ්‍ය මාර්ගෝපදේශ සපයා දීමට දිස්ත්‍රික්ක 25 පුරාම පැතිරුණු පුහුණු කරන ලද සංවර්ධන නිලධාරීන් 900ක බලකායක් ද අපි සතුව සිටිනවා. ඒ වගේම උතුරෙත් දකුණෙත් අපි විවිධ දැනුවත් කිරීම් වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යනවා.
    ඒ වගේම ඉතාලිය, දකුණු කොරියාව, ජපානය, ඊශ්‍රයලය, මැලේසියාව වැනි රටවල්වල ඉහළ ශ්‍රමික ඉපයීම් අවස්ථා ඇතිකර ගැනීම සඳහා ඒ රටවල් අතර ද්වීපාර්ශ්වික ගිවිසුම්වලට එළැඹීමටත් අපි කටයුතු කරමින් සිටිනවා. ඒවගේම උතුරු මැද පළාත් සභාව, ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල වැනි ආයතන හා එක්ව සාත්තු සේවා පුහුණු වැඩසටහන් අපි ආරම්භ කර තියෙනවා.

    එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන අනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබෙනවා වගේම, විදේශගතව සිට ආපසු පැමිණෙන අවස්ථාවේදී නීත්‍යානුකූල ක්‍රමවේද ඔස්සේ විදේශ ප්‍රේෂණ සිදුකර ඇති ශ්‍රමිකයින් සඳහා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ලබාදෙන තීරුබදු සහනවලට අමතරව, රේගුබදු නිදහස් දීමනාවක් ලබාදීමට ද අපි කටයුතු කර තිබෙනවා.
    ඉදිරියේදී අපි අඩු පොලී බහුකාර්ය ණය යෝජනා ක්‍රමවේදයක් ශ්‍රී ලංකා මහබැංකුව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයන්ගේ මෙරට නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය හා එක්ව නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ කටයුතු සහ සුබසාධන ව්‍යාපෘති රාශියක කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya