මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෘශ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් නව තාක්ෂණයෙන් යුතු විශේෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතියක්

    සැප්තැම්බර් 03, 2023

    " ඉතිහාසයේ පළමු වරට උතුරු නැගෙනහිර පළාත් වල දෘශ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් නව තාක්ෂණයෙන් යුතු විශේෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතියක්."

    මඩකලපුව නගරයේ නොච්චිමුණෙයි හි ස්ථාපනය කරන ලද විශේෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතිය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මෙම ස්ථානය විශේෂ අවශ්‍යතා සහිත සහ දෘශ්‍යාබාධිත සිසුන් අධ්‍යාපනය ලබන පාසලක්, නේවාසිකාගාර, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ඇතුළු විශාල පිරිසක් ගැවසෙන, ජනාකීර්ණ අවදානම් සහිත ස්ථානයක් බැවින් විශේෂ ආරක්ෂාවක් සහිත පදික මාරු වර්ණ සංඥා පද්ධතියක අවශ්‍යතාවය දිගු කලක් තිස්සේ පැවැතිණි. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ග්‍රාමීය මාර්ග පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ඉල්ලීම පරිදි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 110ක වියදමින් මෙම විශේෂ ආරක්ෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතිය ස්ථාපනය කරන ලද්දේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසිනුයි. උතුරු නැගෙනහිර පළාත් තුළ ප්‍රථම වරට ස්ථාපිත කර ඇති මෙම විශේෂ පදික මාරු වර්ණ සංඥා පද්ධතියට නවීන පහසුකම් කිහිපයක්ම ඇතුලත් කර තිබෙනවා. විශේෂයෙන්ම දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට මාර්ගය හරහා මාරු වීමේදී කෙටි කාලයක් තුළ වාහන නතර කිරීම සඳහා සංඥා පහන් දැල්වෙන ආකාරයටත්, දෘශ්‍යාබාධිත පිරිස් වෙනුවෙන් විශේෂිත ලෙස සැලසුම් කරන ලද නාද සංඥා පද්ධතියක්ද මීට ඇතුළත්. මීට අමතරව සුදුසැරයටි මගින් හඳුනාගත හැකි පරිදි පදික වේදිකාව විශේෂිත සංඥා සහිත බිම් ඇතුරුම් ගල් මඟින් නිර්මාණය කිරීමට ද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සැලසුම් කර තිබෙනවා.

    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    ඉතිහාසයේ ප්‍රථම වරට උතුරු නැගෙනහිර පළාතේ දෘශ්‍යාබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන්ට ඉතාමත් පහසුවෙන් සහ ආරක්ෂිතව මාර්ගය හරහා ගමන් කිරීම සඳහා අති නවීන තාක්ෂණයක් සහිතව මෙවැනි විශේෂ පදික මාරු වර්ණ සංඥා පද්ධතියක් හඳුන්වා දීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වනවා.

    නැගෙනහිර පළාතේ ප්‍රධානතම නගරය ලෙස මඩකලපුව නගරය තුල විශ්ව විද්‍යාල, අධ්‍යාපන ආයතන මෙන්ම දෘශ්‍යාබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් වෙනුවෙන් පැවතෙන අධ්‍යාපන ආයතන කිහිපයක් පැවතීම පැසසුමට සහ ගෞරවයට ලක්විය යුතුයි.

    ප්‍රධාන මාර්ගය දෙපස පාසල සහ නේවාසිකාගාර පිහිටා තිබීම නිසා ඒ හරහා ගමන් කිරීමේදී දෘශ්‍යාබාධිත ජනතාව අවස්ථා රැසකදී විවිධ අනතුරුවලට භාජනය වී තිබෙනවා. සෑම විටම රටේ ඇස් පෙනෙන ජනතාවගේ විශේෂ අවධානය දෑස් නොපෙනෙන පිරිස් වෙත යොමුවිය යුතුයි. ලොව බොහෝ දියුණු රටවල විශේෂ අවශ්‍යතා සහිත පිරිස් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද සහ පහසුකම් ලබාදී තිබෙනවා.

    වසරකට එක් වරක් අපේ රටේ ද සුදු සැරයටි දිනය සැමරුවත්, මාර්ග භාවිතා කිරීමේදී හා පොදු ප්‍රවාහනය භාවිතා කිරීමේදී ඔවුන්ට අවශ්‍ය නිසි අවධානය බස් රථ රියැදුරන් ඇතුළු පාර්ශවයන් ලබා නොදෙන බව මෙහිදී එක් ශිෂ්‍යයෙක් ප්‍රකාශ කළා.

    ඒ ගැන විශේෂ අවධානය යොමු කරමින් ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා ලෙස මින් ඉදිරියට සුදු සැරයටිය සහිත පුද්ගලයකු දුටු විට අනිවාර්යයෙන්ම බස්රථ නතර කර ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා දීමට ප්‍රමුඛතාව ලබා දීම අනිවාර්ය කර චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස මා ලංගම සභාපතිවරයාට උපදෙස් ලබා දෙනවා.

    මෙතැන් පටන් කිසිදු බියකින් හා සැකයකින් තොරව ආරක්ෂිතව පාර මාරු වීම සඳහා මෙම විශේෂ පදික මාරු වර්ණ සංඥා පද්ධතිය ස්ථාපනය කළ අප අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සියලුම නිලධාරීන්ට අප සියලු දෙනාගේම ගෞරවය හිමිවිය යුතුයි. එමෙන්ම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙම සත්කාරයට දායක වන ස්වාමි විවේකානන්ද පූජකතුමන් ප්‍රමුඛ මෙම ආයතනය පවත්වාගෙන යන්නට දායක වන සියලු සත්පුරුෂයන්ට අපේ ගෞරවය හිමිවනවා."

    ස්වාමි විවේකානන්ද පූජකතුමා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස් වීරකෝන් මහතා,රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සභාපති කුෂාන් දේවින්ද මහතා, රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයින්,දෘශ්‍යාබාධිත හා විශේෂ අවශ්‍යතා සහිත පාසැල් දරු දැරියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya