මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ විද්‍යා ගණිත විෂයන් හැදෑරීමට සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමටත් උපදෙස්

    සැප්තැම්බර් 01, 2023

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල පවරා ගැනීම, රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම ඇතුළු ගැටලු සදහා මාස තුනක් තුළ විසදුම් යෝජනා කරන්න - කෝප් කමිටුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග
     

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 25 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබිණි.

    මෙහිදී 2023 අප්‍රේල් 28 දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට කැදවා තිබිණි.

    රැකියා වෙළදපොළට ගැළපෙන පාඨමාලා හදුන්වාදීම මීට පෙර ලබා දී ඇති කෝප් නිර්දේශයකයට අනුව රැකියා වෙළදපොළට ගැළපෙන ලෙස විශ්ව විද්‍යාලවල පාඨමාලා ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා විය.

    සෑම ශාස්ත්‍ර පීඨයකම තොරතුරු තාක්ෂණය පිළිබද අධ්‍යයනාංශයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවද ඒ සදහා ගැසට් පත්‍රයක්ද නිකුත් කර අවසන් බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය. ඒ සදහා සුදුසුකම්ලත් ආචාර්යවරු පත් කිරීමට ද පියවර ගෙන ඇත. මේ අනුව රු මිලියන 400ක් වැය කර විශ්ව විද්‍යාල 15ක නව පරිගණක විද්‍යාගාර පිහිටවූ බව ද ඒ මහතා පැවසීය.

    කලා විෂය වෙනුවට උසස් පෙළ විද්‍යා ගණිත විෂයන් හැදෑරීමට සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට උපදෙස් නවීන රැකියා වෙළදපොල පිළිබද පරීක්ෂා කිරීමේදී කලා විෂය ධාරාව වෙනුවට විද්‍යා ගණිත අංශ සදහා වැඩි අවස්ථාවක් සිසුන්ට ලබාදීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි. සිසු දරුවන්ට උසස්පෙළට විද්‍යා විෂයන් හැදෑරීමට අවශ්‍යතාව තිබුණද පාසැල් මට්ටමින් ඒ සදහා අවස්ථාව ලබා නොදීම බලවත් ගැටලුවක් බව මෙහිදී සාකච්ඡා විය.

    එසේම ජාතික පාසැල් සහ පළාත් සභා පාසැල්වල ගුරුවරු ඇතුළු තොරතුරු පිළිබදව නිවැරදි දත්ත නොමැති වීම ගැටලුවක් බැවින් නිවැරදි දත්ත පද්ධතියක් සකස් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දීම සිදුවිය.

    උසස්පෙළ විද්‍යා ගණිත විෂයන් හැදෑරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා ලෙස කෝප් සභාපතිවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ඉදිරියේදී STEM අධ්‍යාපන වැඩසටහන ඔස්සේ පාසැල් කාණ්ඩ කොට මේ සම්බන්ධව පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිදුකරන බව ලේකම්වරයා පැවසීය. මෙහිදී පාසැල් කාණ්ඩගත කොට අවශ්‍ය සම්පත් බෙදාහදා ගැනීමට ද ජාතික පාසැල් සහ පළාත් සභා පාසැල් එකම කණ්ඩායමක් ලෙස පරිපාලන කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් හ් මහතා පැවසීය. ඒ අනුව තව සති දෙකක කාලයකින් මෙම කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම ඇතුළු ගැටලු සදහා මාස තුනක් තුළ විසදුම් යෝජනා කරන ලෙසට නියෝග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පාලනය පිළිබද බලය නැවත ගැසට් නිවේදනයක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට 2012 වසරේ පවරා ගෙන ඇති බැවින් මේ වන විට රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල නියාමනයක් සිදුනොවන බවට මෙහිදී ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. මේ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනයට ඇති බලතල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලබාගතහොත් එය මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේද බිදවැටිීම බව ද ඒ මහතා පැවසීය.

    මේ අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු බලතල පවරා ගැනීම, රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම සහ මෙම විශ්ව විද්‍යාවල ලියාපදිංචිය සම්බන්ධව ඇති ගැටලුකාරී තත්ත්වයට මාස තුනක් තුළ විසදුම් යෝජනා කරන ලෙස දැනුම් දුන්නේය.

    මීට අමතරව දිස්ත්‍රික් කුසලතාව මත බදවා ගැනීම වැඩි කිරීම, සප්ත වාර්ෂික නිවාඩු ලබා ගෙන අධ්‍යයන කටයුතු සදහා විදේශ ගතවන අධ්‍යයන කාර්ය මණ්ඩල නැවත සේවයට වාර්තා නොකිරීම මත බැදුම්කර අයකර ගැනීම වැනි කරුණු කාරණා කෙරෙහිද අවධානය යොමු විය.

    මෙම කාරක සභා රැස්වීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, සංජීව එදිරිමාන්න, ප්‍රේම්නාත් සී දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya