මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒකීය රාජ්‍යය සුරැකීමට කැපවෙනවා - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  

    අගෝස්තු 28, 2023

    "අභියෝග මැද අගමැතිකම භාරගෙන රට වැටී තිබුණ තත්ත්වයෙන් ගොඩ ගන්නට කටයුතු කළා."

    -කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි.

    " රට නැවත නිසි මගට යොමු කළා"

    - කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි.

     

    ඒකීය රාජ්‍ය හා මාතෘ භූමිය සුරැකීම අරමුණු කරගෙන මහ සඟරුවනේ ආශිර්වාදයෙන්, මහජන එක්සත් පෙරමුණ, ජාතික සංවිධාන හා එක්ව, වාර්ෂිකව පවත්වන අධිෂ්ඨාන පූජාව සහ සත්‍යක්‍රියාව 29 වසරටත් මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  26 දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියස දී සිදුකෙරිණි.

     

    එහිදී ඒකීය රාජ්‍ය සුරකින ප්‍රතිඥාව ඉදිරිපත් කළ, ම.එ.පෙ. නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා -

    "අපේ මුතුන් මිත්තන්ගේ ලෙයින් දහදියෙන් පෝෂිත මේ පුණ්‍ය භූමියේ පරපුරෙන් පරපුරට රැකදුන් මව්බිමේ ඒකීය රාජ්‍යත්, භෞමික අඛණ්ඩතාවයත්, ස්වෛරීභාවයත් ස්වාධීනත්වයත් සුරැකීමට කැපවෙමු. වසර දෙදහස් පන්සියයක් ඉක්මවා අපේ මුතුන් මිත්තන් විසින් මහත් ගෞරවයෙන් හා අභිමානයෙන් සුරැක ජාතියට දායාද කරන ලද්දා වූ උතුම් සම්බුද්ධ ශාසනයත් මහා සංඝරත්නයත් ආරක්ෂා කොට චිරස්ථිතිය පිණිස කැපවෙමින් ලොවට දායාද කරමු.

    අපේ අනාදිමත් සංස්කෘතිය, ගංගා ඇළ දොළ, වැව් අමුණු, ජල මූලාශ්‍ර, වන, අභය භූමි සතා සිවුපාවා ආදියෙන් සුපෝෂිත සම්පත් ආරක්ෂා කරමු. පුනර්ජනනීය බල ශක්තියෙන් පොහොසත් කොට, කාලගුණ විපර්යාසයන්ට මුහුණ දෙන, අහරින් ස්වයංපෝෂිත, අපට දරණීය වූත් තිරසාර වූත් දායාදයන් උදා කරමින් පරිසර හිතකාමී දේශය ශ්‍රී ලංකාව බවට පත් කිරීමට ඇප කැප වෙමු. කාන්තාවන්ගේ ගෞරවය හා ආරක්ෂාව සලසමින් ආර්ථික නවෝත්පාදනයට පුළුල්ව සහභාගී කර ගනිමු.

    තරුණ පරපුර දැනුමෙන් නිපුණතාවයෙන් හා ආකල්පයෙන් පොහොසත් රටක් ගොඩ නැගීමටත්, නව රැකියා හා ජීවන උපාය මාර්ග සහතික කරන අනාගතයක් උදා කිරීමටත් කැපවෙමු. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ශක්තිමත් කරමින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයෙන් උත්තරීතර පාර්ලිමේන්තුව හා මහජන නියෝජිත ආයතන වලට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමටත් කැප වන අතර සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි කරමු.

    ජාතික ආර්ථික පුනර්ජීවනයේ ඉදිරි පිම්ම ලෙස ජනතා සහභාගීත්වයෙන් රට පුරාවටම ප්‍රයෝජනයට නොගත් ලක්ෂ සංඛ්‍යාත වතු හා රජයේ ඉඩම් හා මහ සයුර සැලසුම් සහගත ඵලදායි නව අපනයන දක්වා දිවෙන අලුත් වැඩසටහන් ඇති කිරීමට කැප වෙමු. කඩා වැටී යළි ගොඩ නැගෙන වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ගොවි ජනතාව ද, වැඩකරන ජනතාව ද, දේශීය ව්‍යාපාරිකයන්, වියපත් දෙමාපිය ජනතාවද, රණවිරුවන් ද ජීවන බරින් පෙළෙන ජනතාවට සහන හා දියුණුව පිණිස දොරටු විවර කරන ගමින් ගමට නව උත්පාදනයන් ගෙන් ආර්ථික පුනර්ජීවනය සඳහා අපේ රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයින් ද එක්ව කැපවෙමු. සියලු රට වැසියා සමග උතුම් මිනිස් ගුණ ධර්මයෙ හි පිහිටා අධිෂ්ඨානයෙන් යුතුව මෙලෙස ඓතිහාසික කතරගම කිරිවෙහෙර පූජාභූමියේ දී සමස්ත ජාතියට ප්‍රතිඥා දෙමු."

     

    මෙහි දී අනුශාසනා කළ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි -

     

    "අග්‍රාමාත්‍යතුමා අපේ රටේ බොහෝ කලබලකාරී, තීරණාත්මක යුගයක දී රටේ සෞභාග්‍ය වෙනුවෙන් අභීත තීරණයක් අරගෙන අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු භාරගත්තා. වත්මන් ජනාධිපතිවරයා සමග එකට සිටගත් අග්‍රාමාත්‍යතුමා රට වැටිල තිබුණ තත්වයෙන් ගොඩ අරගෙන රටවැසි සියලු දෙනාට සතුටින් ජීවත් වෙන්නට සැලැස්සුවා. රටේ ප්‍රශ්ණ නිරාකරණය කරමින් රට වැසියන්ට යම් බලාපොරොත්තුවක හැගීමක් හැගීමක් ඇති කළා.

    බිහිසුණු කාල පරිච්ඡේදයකදී වගකීම භාරගෙන, ආගමට දහමට ලැදි තුණුරුවන් විශ්වාස කරන, හදවතින් බෞද්ධ වූ කෙනෙක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වීම සියලු දෙනාගේ සතුටට කරුණක්. අද බුදු දහමට හාමුදුරුවරුන්ට විවිධ චෝදනා එල්ල වන යුගයක ඔබ අග්‍රාමාත්‍යවරයා වශයෙන් නොහිටියානම් ගැටලු රැසක් ඇති වෙන්න තිබුණා. මොනතරම් රාජකාරි තිබුණත් වසර 29 කට පෙර ආරම්භ කළ මේ අධිෂ්ඨාන පූජාව අමතක නොකළ එකත් පැසසුමට කරුණක්.

    අද මුළු රට පුරාම වියළි කාලගුණ තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. ගොවියන් ගොවිතැන් කරන්න බැරිව දැඩි අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. මේ පින්කම තුළින් රටට වැසි ලැබිලා, ගොවියන්ගේ බලාපොරොත්තු ඉටු වෙලා, රට වාසී සියලු දෙනාම සතා සිවුපාවන් පවා සතුටින් ජීවත් වෙන්න කාලයක් ලැබේවා.

     

    මෙහිදී අනුශාසනා කළ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි -

    "වත්මන් අග්‍රාමාත්‍යතුමා එදා මේ පළාතේ කොටි ත්‍රස්තවාදී තර්ජන මැද මේ පිංකම සිදුකළා. එදා යාල අභය භූමිය ත්‍රස්තවාදීන්ගෙන් පිරිච්ච භූමියක් බවට පත්වෙලා තිබුණා. කතරගම ඇසළ පෙරහැර පවා කිරීමට නොහැකි තත්ත්වයක් බවට පත්වුණා. දුටුගැමුණු මහ රජතුමා විදේශීය ආක්‍රමණ පලවා හැරීම සඳහා ආශිර්වාදය ලබා ගත්තෙ කතරගමින්. එදා රාජරාජ මහාමාත්‍යාදීන් අනුගමනය කළ පිළිවෙතම අනුගමනය කරමින් වත්මන් අග්‍රාමාත්‍යතුමා ත්‍රිවිධ හමුදාවට ශක්තිය ආශිර්වාදය ලබා දීම සඳහා එදා මෙම පින්කම සිදුකළා. මේ මහා ශ්‍රී ලංකාද්වීපයම ත්‍රස්තවාදයෙන් වෙලාගත් යුගයකයි මේ කාර්යභාරය එදා ඉෂ්ට කළේ.

    පසුගිය වකවානුව තුළ මේ රට ඉතාම අරාජික තත්වයට පත්වුණා. රටේ නායකත්වයක් නැති වුණා. ඒ අවස්ථාවේ තමයි වත්මන් ජනාධිපතිතුමා, වත්මන් අග්‍රාමාත්‍යතුමා මේ සියලු අභියෝග මැද හැම කෙනාම එපා කියද්දි වගකීම් බාරගත්තෙ. පැරණි චරිතයක් විදිහට පරම්පරාවෙන්ම මේ රට ජාතිය බේරා ගැනීමට පිලිප් ගුණවර්ධන වැනි ශේෂ්ඨයන් ගිය මඟ යමින් සියලු අභියෝග භාර ගනිමින් මේ රට බාර ගැනීම ගැන ඇත්තෙන්ම අද අපි සතුටු වෙනවා. නායකත්වයක් නැති යුගයකයි ඔබතුමන්ලා නායකත්වය බාර ගත්තේ.

    අද අපට පේන දෙයක් තමයි නායකත්වය සඳහා මහා පොරයක් තිබෙනවා. අරගලයක් තිබෙනවා. මේ වෙලාවේ සියලු දෙනාම මේ රට ගොඩ ගන්නට උත්සාහ කරන්නට ඕනේ. පාට පක්ෂ භේද වලින් තොරව සහාය දෙමින් හැමදේම කඩාකප්පල් කරන්නෙ නැතුව විනාශ කරන්නෙ නැතුව එකතු විය යුතුයි. මේ රට මේ වෙලාවේ ඉතාම දුෂ්කර ගමනක යන බව අපි දන්නවා. ලෝකයේම ලැව් ගින්නක් සේ විශාල ආර්ථික ප්‍රශ්න රාශියකට මුහුණ පෑ යුගයක්.

    අවුරුද්දකට පෙර අපට ගෑස් නැහැ. තෙල් නැහැ. විදුලිය නැහැ. රටක් නායකයෙක් නැති රටක් භාරගෙන ඔබතුමාලා අද මේ රට මේ තත්වයට පත්කළා. ඔබතුමා එදා ගත්ත තීන්දුව ඉතාම එඩිතර තීන්දුවක්. තමන්ගෙ නිවාස ගැන, පරම්පරාව ගැන, තමන්ගෙ ජීවිතය ගැන කල්පනා නොකර මේ තනතුර කවුරුත් බාර නොගත්ත වෙලාවක තනතුර බාර ගත්තෙ ඔබතුමා.

    මේ කාලය තරම් භික්ෂූන් වහන්සේලාට අපහාස නින්දා කරන කාලයක් අපි දැක්කේ නැහැ. අපි දැක්කා පසුගිය වකවානුව තුළ කිසියම් භික්ෂූන් වහන්සේ නමක් දැන් සිංහල බෞද්ධ රාජ්‍යය ඉවරයි කියලා ප්‍රකාශ කළා. එවන් වූ තත්ත්වයට පත්වෙන්නේ වෙන මොනවත් නෙවෙයි විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල මුදල්.

    අග්‍රාමාත්‍යතුමා බොහොම නිශ්ශබ්ද සැබෑ බෞද්ධයෙක් විදිහට භික්ෂූන් වහන්සේලාට ගරු කරමින් අපේ බුද්ධ ශාසනය රැකගන්න කටයුතු කරනවා."

    මෙම අවස්ථාවට දිවයිනේ විවිධ පෙදෙස්වලින් වැඩම කළ මහා සංඝරත්නය, මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපා ජයවර්ධන, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, උප සභාපති, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඇතුළු මඑපෙ ක්‍රියාකාරීන්, අමාත්‍ය මහින්ද අමරවීර , නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, පියල් නිශාන්ත, අනූප පැස්කුවල්, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිඳු කුමාරතුංග, ගයාෂාන් නවනන්දන, ජාතික සංවිධාන නායකයින් වන වෛද්‍ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, කතරගම බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර වාකිස්ට ඇතුළු බෞද්ධ සංවිධාන නායකයින්, විවිධ බහුජන සංවිධාන නියෝජිතයින් හා විශාල ජනතාවක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya