මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්බුදයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීමට ආසියානු සංවර්ධන බැංකුවේ පැසසුම්

    අගෝස්තු 27, 2023

    පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට පූර්ණ සහය..

     ආර්ථික අර්බුදයෙන් නැගී සිටින ශ්‍රී ලංකාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යළි නඟා සිටුවීම සඳහා දක්වන උනන්දුව අගය කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

    එහි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Takafumi Kadano මහතා සඳහන් කරන්නේ, ඒ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය ලබා දීමට සූදානම් බවයි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ  (25) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී අධ්‍යක්ෂ තකෆුමි මහතා මේ බව පැවැසීය. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බල ශක්ති ක්ෂේත්‍රය ප්‍රධාන කර ගනිමින් ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති රැසක් වෙනුවෙන් සහය දක්වන බවයි.

    අර්බුදකාරී තත්ත්වය මග හරිමින් ශ්‍රී ලංකාව නැඟී සිටීම වෙනුවෙන් කරන කැප කිරීම් අගය කළ අධ්‍යක්ෂවරයා කියා සිටියේ, සෑම අර්බුදයක් විසින් ම නව අවස්ථාවන් නිර්මාණය කරන බවයි. එතුළින් දිගු කාලීන තිරසාර ආර්ථිකයක් කරා ගමන් කිරීමේ හැකියාව ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය. විශේෂයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දිය හැකි සහය අඛණ්ඩව ලබා දෙන බවයි ඔහු කියා සිටියේ. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව උනන්දුවෙන් පසු වන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

    මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අර්බුදකාරී සමයේ දී මෙන්ම ඉන් නැගී සිටිමින් සිටින අවස්ථාවේ දී ද දක්වන සහය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව වෙත සිය කෘතඥතාව පළ කරන බවයි. අර්බුදයේ දී වඩාත්ම පීඩාවට පත් වූ කණ්ඩායමක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායක ක්ෂේත්‍රය හඳුනා ගත හැකි බව පෙන්වා දුන් සේමසිංහ මහතා කියා සිටියේ වඩාත් ඉක්මණින් යථා තත්ත්වයට පත් කළ යුතු ක්ෂේත්‍රය ද එය වන බවයි. එම ක්ෂේත්‍රය වෙනුවෙන් රජය මෙතෙක් ලබා දුන් විවිධ සහන පිළිබඳ අවධාරණය කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තව දුරටත් ඔවුන් වෙත සහය අවශ්‍ය බවයි.

    අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya