මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහසින් පසු ප්‍රථම වරට නීත්‍යානූකූල බලපත්‍රයක් සහිතව රිය පද වීමේ අවස්ථාව ශ්‍රවණාබාධිත ජනතාවට හිමිවනවා- ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය 

    අගෝස්තු 13, 2023

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද විශේෂ ජංගම සේවයක් කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

    ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ජංගම සේවය දෙදිනක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතයි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වූ නියමු ව්‍යාපෘති ඉන් අනතුරුව, හිමි වූ කැබිනට් අනුමැතියට අනුව ශ්‍රවණ ආබාධ සහිත ජනතාව සඳහා විශේෂ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ උපදේශන සේවාව සහ ලිඛිත පරීක්ෂණ පැවැත්වීම, වාහන පැවරීම, රියදුරු බලපත්‍ර,කාර්මික අංශය, ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු අනෙකුත් ආයතන වල සේවාවන්, බැංකු, රක්ෂණ සහ ලීසිං ඇතුළු සේවාවන් රැසක් ලබා ගැනීමේ අවස්ථාව වයඹ පළාතේ ජනතාවට හිමි විය.

    වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    " නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතිශයින්ම වැදගත් සමාජ සත්කාරක වැඩසටහනක්‌ ලෙස මෙම ජංගම සේවාව හැඳින්විය හැකියි.දැනට වයඹ පළාත තුල ශ්‍රවණ අබාධ සහිත 77,000ක පමණ පිරිසක් ජීවත් වනවා.එම පිරිසට මෙන්ම දිවයින පුරා ශ්‍රවණාබාධිත ජනතාවට රිය පද වීමෙන් වලංගු බලපත්‍රයක් ලබා ගැනීමට පැවැති බාධාවන් මෙතැන් සිට ඉවත් වනවා.
    විශේෂ අවශ්‍යතාවයන් සහිත පිරිසක් ලෙස ශ්‍රවණාබාධිත ජනතාවටත් සිය දෛනික කටයුතු වෙනුවෙන් රථ වාහන ධාවනය කිරීමේ අවශ්‍යතාවය ඇති වනවා. ඉන් බොහෝ පිරිසක් රිය ධාවනයේ නිරත වනවා.දීර්ඝ කාලයක් තුළ විවිධ රජයන්ගෙන් ඉල්ලීම් සිදු කලත් ඔවුන්ට නිත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව මෙතෙක් හිමි වූයේ නැහැ.
    යුරෝපය ඇමරිකාව ඇතුළු ලෝකයේ බොහෝ දියුණු රටවල විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව සඳහා අන්තර්ජාතිකව පිළිගත් රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවට මෙතෙක් එම වරප්‍රසාදය හිමිවී නැහැ. ඒ නිසාම රථ වාහන ධාවනයේදී විවිධාකාර වූ පීඩාවන්වලට නිරන්තරයෙන් මුහුණ දීමට ඔවුන්ට සිදු වනවා. එය මානව අයිතියට සුදුසු තත්වයක් නොවන බව මාගේ අදහසයි.
    විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ සහ ශ්‍රවණාබාධිතවූවන්ගේ සංවිධාන විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් ඔවුන් වෙත රියදුරු බලපත්‍රයක් ලබා දීම සඳහා අවශ්‍ය පසුබිම සොයා බලා කටයුතු කරමින් අප අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විශාල කාර්යභාරයක් ඉටු කළා. අභියෝග රැසක් මැද, අපහසුතාවයන් රාශියකට මුහුණ දෙමින් ඒ පිළිබඳව නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රවණාබාධිත පිරිස් වෙත රියදුරු බලපත්‍ර ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අපට හැකි වුණා.
    ඒ අනුව හෙට දිනයේ සිට බයකින් හෝ සැකයකින් තොරව නීත්‍යනුකූලව රිය ධාවනය කිරීමේ අවස්ථාව මෙම විශේෂතා සහිත පිරිසටද හිමිවනවා. ඔවුන් වෙනුවෙන් විශේෂ හඳුනාගැනීමේ සලකුණක් සහිතව රිය ධාවනය කිරීමේ අයිතිය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
    නිදහසින් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව තුළ රිය ධාවනයට නිත්‍යානුකූල අයිතිය ඉදිවන විශේෂ අවශ්‍යතා සහිත ශ්‍රවණාබාධිත පිරිස් හඳුනාගනිමින් ඔවුන් පිළිබඳව පොලිසිය ඇතුළු සියලු පාර්ශව දැනුවත් කිරීමේ වගකීම ජනමාධ්‍යවේදීන් ඇතුළු අප සැමට හිමිවනවා.
    සමාජයෙන් වෙනස් කොට සැලකීම වෙනුවට ජීවිතයට වැඩි අගයක් එකතු කරගැනීමට රජය ලබා දුන් මෙම විශේෂ අවස්ථාව තුළින් වගකීමෙන් යුතුව රිය පදවමින් රටට වැඩදායි මෙහෙවරක් ඉටු කරන්නට මෙම පිරිසට ද ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා."
    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රීණී මංජුලා දිසානායක මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා, වයඹ පළාත් ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya