අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේදී සමහර මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය ගැන විද්වතුන්ගේ විරෝධය

    මාර්තු 14, 2017

    රටේ නීති සම්පාදනය කරන උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළ සමහර ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් පසුගිය දිනවල හැසිරුනු  අන්දම මහජනතාවගේ බලවත් පිළිකුලට හා අප්‍රසාදයට හේතු වී ඇතැයි දේශපාලන විචාරයෙකු වන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා මහතා පවසයි.

    විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ යැයි කියා ගන්නා මන්ත්‍රීවරුන් මෙලෙස හැසිරෙන්නේ හිතාමතා ම ආණ්ඩුව අපහසුතාවයට පත් කර පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල්  කිරීමේ අරමුණින් බව පැහැදිලි යැයි ඒ මහතා පැවසුවේ කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදීය.

    ඉකුත් දිනවල ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ හැසිරුණු ආකාරය පිළිබඳ අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

    "පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොතපත කියවා දැනුම වර්ධනය කළ ගත යුතුයි. පරිණත විය යුතුයි. ශිලාචාර ලෙස හැසිරෙමින් අනෙක් අයට ආදර්ශයක් ලබාදිය යුතුයි. එහෙත් අද ජ්‍යෙෂ්ඨ යැයි කියා ගන්නා සමහර මන්ත්‍රීවරුන්ගේ පහත හැසිරීම නිසා පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත් වන තත්ත්වයක් උද්ගත වී තිබේ" යැයි ද මහාචාර්ය සොයිසා මහතා මෙහිදී කීය.

    රාජ්‍ය මන්ත්‍රණ යුගයේදී හා පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භක අවදියේදී ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන සහ ගාමිණී දිසානායක ආදී දේශපාලඥයින් පාර්ලිමේන්තුවේ කටයුතු උසස් මට්ටමින් පවත්වාගෙන යාමට දායක වූ බව පෙන්වා දුන් මහාචාර්ය සොයිසා මහතා වර්තමානයේ එවැනි අය නොමැතිවීම බලවත් අඩුවක් බව ද සඳහන් කළේය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා, මන්ත්‍රී ධූරවලට පත් වීමේදී අධ්‍යාපන සුදුසුකම් නියම කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වුවද මන්ත්‍රීධූර අපේක්ෂකයින් තේරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කොට බලා සුදුස්සන් නම් කිරීම දේශපාලන පක්ෂවල නායකයන්ගේ වගකීම බව පැවසීය.

    එසේම පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කනිෂ්ඨ මන්ත්‍රීවරුන්ට ආදර්ශයක් වන පරිදි පාර්ලිමේන්තුව තුළ හැසිරිය යුතු බව ද ආචාර්ය පුරසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය චාමින්ද අබේසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුව තුළ අශෝබන ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන් පිළිබඳව මාධ්‍ය මඟින් හෙළිදරව් කළ යුතු බවත් ඉදිරි මැතිවරණවලදී ඔවුන් නැවත පාර්ලිමේන්තුවට තෝරා පත් නොකිරීමට මහජනතාව වගබලා ගත යුතු බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya