මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබිමේදී භාවිත කෙරෙන පුද්ගල ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කරන අයට බදු සහන ලබාදීමට පියවර ගන්නවා- ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න

    ඔක්තෝබර් 19, 2015

    උසස් තත්ත්වයෙන් යුත් වෘත්තීය සුරක්ෂිතතා උපකරණ එනම් වැඩබිම්වලදී භාවිත කෙරෙන පුද්ගල ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා බදු සහන ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ සේවයේ යෙදී සිටියදී පාද අහිමිවූවන්ට කෘතීම පාද ප්‍රතිපාදනය කිරීම සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේදී පැවැති උත්සවයක් අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    "වෘත්තීය අනතුරු හා වෘත්තීය රෝග නිසා ලොව පුරා සිදුවන මානව හා ආර්ථික පාඩුව අති විශාලයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත අනුව වෘත්තීය රෝග සහ අනතුරු නිසා සෑම රටකම දළ ජාතික නිෂ්පාදනයෙන් 4%ක් පමණ හානි වෙනවා. ශ්‍රී ලංකාවේ පමණක් වෘත්තීය අනතුරුවලින් සෑම වර්ෂයකම වැඩකරන මිනිස් දින ලක්ෂ 5 ක් පමණ අපතේ යන බව වාර්තා වෙනවා. මූල්‍යමය වශයෙන් ගත්තහම මේ අගය ඉතා විශාල අගයක්. මේ නිසා අපි වැඩකරන ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය කෙරෙහි නිසි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. එහෙම නොවුනොත් රටේ ආර්ථික වර්ධනය උපරිම ඵලදායි මට්ටමකට ගෙන ඒමට අපට බැරිවෙනවා. ඒ නිසා මේ සඳහා වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ නීති රීති ක්‍රියාත්මක කරන්න තමයි කම්කරු දෙපාර්තමේන්තුවේ කර්මාන්තමය සුරක්ෂිතතා අංශය පිහිටුවා තිබෙන්නෙ. ඒ වගේම තමයි මේ පිළිබඳ දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ පාඨමාලා පැවැත්වීම සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය කියල ආයතනයක් අපි පිහිටුවා තිබෙන්නෙ."යැයි අමාත්‍යවරයා පැවසීය.

    විශේෂයෙන්ම මම මෙහිදී අවධාරණය කරන්න කැමතියි වැඩබිම්වලදී භාවිත කෙරෙන පුද්ගල ආරක්ෂණ උපකරණ මෙන්ම වැඩබිම්වලදී අනතුරුවලට ලක්වන අයට ලබාදෙන කෘතීම අත් පා ආදී අවයව උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා ඔවුන්ට බදු සහන ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව.

    අප රටක් වශයෙන් අපේ රටේ තිබෙන කර්මාන්ත ශාලා හා වැඩබිම් තුළ සුරක්ෂිතතා නීති රීති පිළිපදින සුරක්ෂිතතා සංස්කෘතියක් ඇති කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.

    වැඩබිම්වලදී අනතුරුවලට ලක්වූවන්ට ඉතාම උසස් තත්ත්වයෙන් යුත් කෘතීම අත්පා ලබාදීම ශ්‍රම වාසනා අරමුදල විසින් ආරම්භ කළ නව වැඩසටහනක් බව මෙම අවස්ථාවට එක්වූ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ගොඨාභය ජයරත්න මහතා සඳහන් කළේය. මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ලබාගන්නා ලෙස ද ලේකම්වරයා අදාල තැනැත්තන්ගෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා අමරසිංහ සහ ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරී ඩී.ආර්.ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya