මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පිළිබඳ ගැටළු තවත් ළමා දිනයකට ඉතිරි නොකරන්න තීන්දු රැසක්

    ඔක්තෝබර් 03, 2015

    දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පිළිබඳ ගැටළු තවත් ළමා දිනයකට ඉතිරි නොකර විශේෂ තීන්දු තීරණ රැසක් ගැනීමට රජය සුදානම් බවත්, දරුවන්ගේ පෞද්ගලික පන්ති ව්‍යාප්තිය බෝවන රෝගයක් වගේ යැයි ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහත පවසයි. 

    "ළමා මිතුරු පරිසරයක් - ලොව බබලන සොඳු දැයක්” යන්න තේමාකොට ගනිමින් ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂ සැමරුම් උත්සවයක් පැවැති අතර, එම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    එම උත්සවය අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පිළිබඳ ගැටළු තවත් ළමා දිනයකට ඉතිරි නොකර විශේෂ තීන්දු තීරණ රැසක් ගැනීමට රජය සුදානම්. 05 වසර ශිෂ්‍යත්ව දරුවන්ටත් දැන් පෞද්ගලික පන්ති තිබෙනවා. ඉදිරියේ දී පෙරපාසල් දරුවන්ටත් පෞද්ගලික පන්ති ආරම්භ කරයි. ඒක බෝවන රෝගයක් වගෙයි. විෂය බාහිර දැනුම, ක‍්‍රියාකාරකම් පිළිබඳව දරුවන්ගේ දැනුම අවමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දරුවන්ටත් තිබිය යුතුයි. ඒ සඳහා සංවාදයක් දැන් ඇතිවී තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිටින සියළුම දෙනා වගේම වැඩිහිටි සියළු දෙනා දරුවන් රැකබලා ගන්න ඕනෑ. එය පුණ්‍යකර්මයක්. බෝධී පූජා, දේව කන්නලවි පවත්වා එම පින ලබාගන්න බැහැ. දෙවියන්ට අල්ලස් ලබාදෙන්න එපා. දරුවන්ට වන්දනා කරන්න. එවිට දෙවියන්ගේ ආශීර්වාදය දරුවන්ට ලැබෙනවා. දරුවන් සතුටු කරන්න.


    ජීවීතය කියන්නේ මල් වගේ සිටින දරුවන්, එම මල්වගේ සිටින දරුවන්ට සිදුවන විවිධ තාඩන පීඩන පසුගිය කාලයේ මාධ්‍ය හෙළි කළා. දැන් එය සාමාන්‍යකරණය වී තිබෙනවා. ඇතැම් සිදුවීම් අහම්බෙන් සිදුවන සිද්ධීන්. හැබැයි මම කියන්නේ අපි දරුවන් ආරක්ෂා කළ යුතුයි. එය දෙමාපියන්ගේ වගකීමක්. විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය පිළිබඳව දෙමාපියන් අවධානය යොමු කළ යුතු වෙනවා. වර්තමානයේ දරුවන් යාන්ත‍්‍රීකරණය වෙලා. ළමාකමක් නැහැ. බටහිර සංස්කෘතියට වඩා දේශීය සංස්කෘතිය වැදගත්.

     

    අපි අපේ රජය චීනය සමග එකතුවෙලා මෙම රෝහලේ දෙවැනි අදියරේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මුදල් අමාත්‍යතුමා මට කීවේ විශේෂ විශාල ව්‍යාපෘති තිබෙනවා නම්, ලබාදෙන්න මුදල් වෙන් කිරීමේ කටයුතු කරන්න කියලා. අපි ලබන අයවැයෙන් බලාපොරොත්තු වෙනවා දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 3 ක් සෞඛ්‍ය විෂය සඳහාත්, සියයට 6 ක් අධ්‍යාපනය සඳහාත් වෙන් කරන්න.දැන් සෞඛ්‍යට වෙන් කරන්නේ සියයට 1.2 යි. අධ්‍යාපනයට 1.5 යි.



    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන දරුවන් සඳහා ත්‍යාග පිරිනැමීමක් ද සිදුකරන ලද අතර, විවිධ ප‍්‍රසංගයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබුනි.


    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික‍්‍රමසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya