මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික රුක් රෝපණ මාසය ඇරඹේ

    සැප්තැම්බර් 28, 2015
     
    සෑම වසරකම ඔක්තෝම්බර් මාසය  ජාතික රුක්රෝපණ මාසය ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇත.
    ඒ අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන" වන රෝපා"  ජාතික රුක් රෝපණ වැඩ සටහන ඔක්තෝම්බර් මාසය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව  මහවැලි හා පරිසර අමාත්‍යංශයේ ලේකම් යු.ආර්.සෙනෙවිරත්න මහතා පවසයි.
     
    ඒ මහතා මේ බව අනාවරණය කළේ  ඒ පිළිබද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවේදීය.
     
    ශ්‍රී ලංකාවේ ජෛව සම්පත් සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම, දේශගුණ විපර්යාස, භුමි හායනය හා නියඟය වැනි ප්‍රමුඛ පාරිසරික ගැටළු නිරාකරණය කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව " පුනරුදය" තුන් අවුරුදු ජාතික පාරිසරික සංරක්ෂණ වැඩ සටහන සැලසුම් කර ඇත. මෙහි පළමු පියවර ලෙස මෙම" වන රෝපා" වැඩ සටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. 
     
    මෙහි ජාතික වැඩ සටහන ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔක්.11 වන දින කොත්මලේදී පැවැත්වීමට නියමිතය.  මෙය රජයේ වැඩ පිළිවෙලක් පමණක් නොව සෑම පුරවැසියෙකුගේම වගකීමක් ලෙස සමාජ ගත කළ යුතු බවද සෙනෙවිරත්න මහතා  පැවසීය. එමෙන්ම වෙනත් වසරවලදී මෙන් මෙම වසරේදී පැල බෙදා දීම සිදු නොකරන බවත්  නිශ්චිත ස්ථානයන්හි රැක බලා ගැනීමට යටත්ව රුක් රෝපණය කිරීමට බලාපොරොත්තු වන 
    බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.
     
    මේ වන විට රටේ වන ගහණය 29%  වන අතර ඉදිරි වසර තුන තුළදී එය  32% දක්වා වැඩිකර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම වැඩ සටහන යටතේ හදුනාගත් ප්‍රදේශවල  එනම් කදු මුදුන්, ඉහළ ජලාධාර පෝෂක ප්‍රදේශ, හායනයට ලක්වු වෙනත් භූමි ප්‍රදේශ  හා වෙරල තීර ආශ්‍රීතව වන වගා කිරීම සිදු කෙරේ.
     
    මෙම රුක් රෝපණ මාසයෙහි පළමුවන සතියෙහි තේමාව "ජන හිසට - තුරු සෙවණ" ලෙස නම් කර ඇති අතර මෙහි ප්‍රධාන අරමුණ වනුයේ  ජනාවාස ආශ්‍රිතව ගස් වැවීමෙන් හරිතබව ප්‍රවර්ධනය වන බවත් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන බව තහවුරු කිරීමත්ය.
     
    මෙහි 2 වන සතියෙහි තේමාව වනුයේ "වන අරණ- රැකවරණ" යන්නයි. සුවිශේෂි පාරිසරික පද්ධති සුරැකීම පිණිස වන වගා ප්‍රවර්ධනය,ආරක්ෂාව හා නඩත්තු කිරීම මෙහි අරමුණ වේ.
     
    "වන අරණට -ජන සරණ"  යන තේමාව යටතේ 3 වන සතියෙහි  හායනයට ලක්වු භුමි ප්‍රදේශ සුවිශේෂී රුක් රෝපණ ක්‍රමවේද තුළින් නැවත යථා තත්ත්වයට පත් කිරීම අරමුණ වේ. 
     
    රුක් රෝපණ මාසයෙහි අවසන් සතියෙහි තේමාව වනුයේ තුරු කැපකරු - අපි නිරතුරු යන්නයි. මෙමගින් රාජ්‍ය ,රාජ්‍ය නොව සංවිධාන, පුද්ගලික අංශය හා  ඒකාබද්ධව  ජනතාව වන රෝපණය වෙත යොමු කිරීම මෙහි අරමුණ වේ. 
     
    මෙම රුක් රෝපණ මාසය තුළ පැල මිලියන 1.5 ක් වගා කිරීම සදහා වෙන් කර ඇති බවත් ඉන් පැල ලක්ෂ 2 ක් මිළදී ගැනීමට ඉඩකඩ ලබා දී ඇති බවත් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ මහතා මෙහිදී පැවසීය.
     
    මෙම ප්‍රධාන වැඩ සටහන් වලට සමගාමීව පාසල්, ආගමික ස්ථාන හා  කාර්යාලයන්හි  දැනුවත් කිරීමේ වැඩ සටහන් හා විවිධ ක්‍රියාකාරකම් රැසක් දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා හා මහවැලි හා පරිසර අමාත්‍යංශය යටතේ ඇති ආයතනයන්හි ප්‍රධානීන්ද සහභාගි වුහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya