නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය

    සැප්තැම්බර් 07, 2015

    ශ්‍රී ලංකා රජයේ ආරාධනය මත  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂීක් අබ්දුල්ලා බින් සයිඩ් අල්-නයාන් රජු ශ්‍රී ලංකාවට පැමිණියේය.

    විදේශ අමාත්‍යවරුන් අතර පැවති ද්වීපාර්ශවීය සාකච්ඡා අතරතුර දී දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය ඉහල නැංවීම, කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන කාරණා වලදී සහයෝගීතාවය වැඩිදියුණු කරගැනීම ආදී වැදගත් කරුණු කිහිපයක්ම සාකච්ඡාවට බඳුන් විය.

     

    ශ්‍රී ලංකා රජයේ ආර්ථික හා දේශපාලනික සැලසුම් පිළිබඳව එහිදී මංගල සමරවීර මහතා විසින් තම පාර්ශවකරු දැනුවත්  කරන ලද අතර ජාතික ආණ්ඩුව හරහා ශ්‍රී ලංකාව විසින් මුහුණපා ඇති දිගුකාලින ගැටළු රැසකට පිළියම් සෙවීම සඳහා උපකාරී වන දේශපාලනික හා ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය ඇතිවනු ඇති බවට ඔහු විසින් විශ්වාසය ඵලකරන ලදි.

     

    මෙහිදී මංගල සමරවීර මහතා විසින් වැඩිදුරටත් විස්තර කරන්නට යෙදුනේ ශ්‍රී ලංකාව, එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ සංචාරකයන් සඳහා මෙන්ම ආයෝජකයන් සඳහා ද පාරාදීසයක් වනු දැකීම නව රජයේ අරමුණ බවයි. එමෙන්ම රජය විසින් නව ආරථික සංවර්ධන කලාප 45ක් පිහිටුවීමට අදහස් කරන බවත් ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමාගම් වලට ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන්ගේ ආයෝජන අවස්ථා වැඩිකිරීමට කටයුතු කරන ලෙසත් මංගල සමරවීර මහතා ආරාධනා කර සිටියේය.

     

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නියුතු 250,000ක් වූ ශ්‍රී ලාංකිකයන් විසින් මෙරට ආර්ථිකයට ලබාදෙන  මහත් වූ දායකත්වය සමරවීර මහතා විසින් මෙහිලා සිහිපත් කරන ලදී. ගෘහ සේවකයන් ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැකියා සඳහා යන සියළු ශ්‍රී ලාංකිකයන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු විසින් අවධාරණය කරන ලදි. තවද අබුඩාබි සංවාදය හරහා සුදුසුකම් හඳුනාගැනීම ඇතුළු සංක්‍රමණික කම්කරු ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අවශ්‍ය වන සහයෝගීතාවය හා අන්තර්-අමාත්‍යංශ සම්බන්ධීකරණය ඉදිරියටත් එලෙසින්ම පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බවත් සිහිපත් කරන ලදි.

     

    දෙවන ශ්‍රී ලංකා - එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඒකාබද්ධ කොමිසම මෙම වසර අග දී කොළඹ දී පැවැත්වීම සඳහා දෙරටේම විදේශ අමාත්‍යවරු මෙහිදී එකඟ වූහ.

     

    විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, විදේශ රැකියා අමාත්‍යංශ ලේකම්, ආයෝජන මණ්ඩලයේ සභාපති, වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන් ද මෙම හමුවට සහභාගී වූහ.

     

    එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමු වූයේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya