මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් අමාත්‍යාංශය හිටපු ජනපතිගේ එතනෝල් චෝදනාව ප්‍රතික්ෂේප කරයි

    ජූලි 09, 2015
    නව රජය බලයට පත්වීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා විසින් එතනෝල් ආනයනය කිරීම සඳහා අලුතින් බලපත්‍ර 28ක් නිකුත් කර ඇතැයි හිටපු ජනාධිපති කළ ප්‍රකාශය මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි.
     
    ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය කිරීම සුරාබදු දෙපාර්තුමේන්තු‍වේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන ආයතන කිහිපයක් තිබෙන අතර ඒවායේ  මත්පැන් නිෂ්පාදනයේ නිමැවුම් අනුව නැවත එතනෝල් ආනයනය කිරීමේ බලපත්‍ර සුරාබදු දොපාර්මේන්තුවේ නිර්දේශය මත ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් නිකුත් කරනු ලබනුයේ සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයට අනුවය. මුදල් අමාත්‍යවරයාගේ කිසිදු නිර්දේශයක් හෝ අධික්ෂණයක් මේ සඳහා අවශ්‍ය නොවේ.
     
    යහ පාලන රජයෙන් මාස තුනක් ඇතුළත එතනෝල් බලපත්‍ර 28ක් ලබා දී ඇති බවට මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කී ඇතැයි හිටපු ජනාධිපතිතුමන් මෑතකදී ප්‍රකාශ කර තිබිණි.  මුදල් අමාත්‍යවරයා විසින් එතනෝල්  බලපත්‍ර ලබා දී ඇතැයි  යනුවෙන් හුවා දැක්වීමට කර ඇති මෙම ප්‍රකාශය සත්‍ය විකෘති කිරීමක් වන අතර මහ ජනතාව නොමග යැවන සුළුය.
    2014 වසර සඳහා එතනෝල් ආනයනය කිරීමේ බලපත්‍ර 104 මෙසේ සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිර්දේශය මත මත්පැන් නිෂ්පාදන ආයතනවලට නිකුත් කරන ලදී. එම බලපත්‍ර උපයෝගී කරගෙන පසුගිය වසරේදී එතනෝල් ලීටර් මිලියන 15ක් ලංකාවට ආනයනය කර ඇත.
     
    මත්පැන් නිෂ්පාදන ආයතනවලට ආනයනය කරන ලද එතනෝල් අමුද්‍රව්‍යයක් ලෙස යොදා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරිගේ ඍජු අධීක්ෂණය යටතේ මත්පැන් නිෂ්පාදනය කෙරේ. මත්පැන් නිෂ්පාදනයට  අමතරව කාර්මික පරීක්ෂණ හා විශ්වවිද්‍යාලවල  පරීක්ෂණ කටයුතු සඳහා ද එතනෝල් මෙරටට  ආනයනය කරනු  ලබයි. ඒ අනුව මේ වසරේ  මුල් මාස හයට  එතනෝල්  බලපත්‍ර 54ක් ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් නිකුත් කර ඇති  අතර ඉන්  මත්පැන්  නිෂ්පාදනය සඳහා නිකුත් කර ඇති බලපත්‍ර ගණන 38කි.
     
    පසුගිය සමයේ මහා පරිමාණ දුෂණ හේතුවෙන් දේශපාලන හිතවතුන්ට ශ්‍රී ලංකාවට වංචනිකව හා නීති විරෝධීව එතනෝල් ගෙන්වීමට අවස්ථා ලැබිණි. ශ්‍රී ලංකා රේගුව විසින් අවස්ථා ගණනාවකදී මෙසේ නීති විරෝධී ලෙස ගෙන්වන ලද එතනෝල් බහාලුම් කොළඹ වරායේදී අත් අඩංගුවට ගන්නා ලදී. 2014 වසරේදී එතනෝල් ආනයනය කිරීමෙන් රජයට ලැබුණු මාසික ආදායම දළ වශයෙන් රුපියල් මිලියන 3400කට පමණ සීමා විය.
     
    එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දේශපාලන හිතවතුන්ට නීති විරෝධීව හා වංචනික ලෙස එතනෝල් ආනයනය කිරීම සඳහා තිබු ඉඩ ප්‍රස්ථාව මග හැරී ගියේය. එම නිසා ලංකාවට එතනෝල් ආනයනයෙන් රජයට ලැබෙන මාසික ආදායම  පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත.
     
    එතනෝල් ආනයනයෙන් පසුගිය වසරේදී රුපියල් මිලියන 3400.00ක් පමණ වූ මාසික අදායම 2015 වසරේ මාර්තු වන විට එය රුපියල් මිලියන 9500.00 පමණ දක්වා වැඩි වූයේ යහ පාලනය යටතේ වංචා හා දූෂණවලට වැට බැඳ විවෘත ආකාරයට දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව නව රජය කටයුතු කරන නිසා බැව් මුදල් අමාත්‍යවරයා පැවසීය.
     
    වංචා දූෂණ හේතුවෙන් මෙතෙක් පාලකයන්ගේ හිතවතුන්ගේ සාක්කුවලට ගිය බදු අදායම් දැන් රජයට ලබා ගැනීමට හැකිවීමත් සමඟ යහ පාලන රජයෙන් මහජන සුබසාධන හා සංවර්ධන කටයුතු සඳහා පෙරටත් වඩා  මුදල්  වෙන් කිරීමට  රජයට හැකි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya