මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඡාත්‍රාභිනන්දන" සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 20

    අගෝස්තු 18, 2014
    "ඡාත්‍රාභිනන්දන" 2013 සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ත්‍රෛනිකායික මහා නා හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ලබන (20) වැනි දින පස්වරු 2.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව මඟින් මෙය සංවිධානය කර තිබේ. මේ පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

     

    ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වූහ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිරිවෙන් 750ක් ක්‍රියාත්මක වේ. එම පිරිවෙන්වල ගිහි පැවිදි ශිෂ්‍ය පිරිස 65,000ක් පමණ අධ්‍යාපනය හදාරති. ආචාර්ය මණ්ඩලය 6500කි. මේ පිරිවෙන් අතර විද්‍යායතන 61ක් ද මහ පිරිවෙන් 210ක් හා මූලික පිරිවෙන් 480ක් ඇත. මේ සියලු පිරිවෙන් අතර පිරිවෙන් මට්ටමින්, දිස්ත්‍රික්ක හා සමස්ත ලංකා මට්ටමින් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයක් වාර්ෂිකව පැවැත්වේ. ඉන් ජයග්‍රහණය කරනු ලබනු ලබන්නන් වෙනුවෙන් ලබන 20 දින ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරනු ලබයි.

     

    ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක මේ ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වනු ලබන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. මෙවැනි උත්සවයක් වෙනත් දිනවල පවත්වනු ලබන්නේ දිස්ත්‍රික් මට්ටමින් බව පැවසූ ස්වාමීන් වහන්සේ 2013 වසර සඳහා තරග ඉසව් 56ක් යටතේ තරග පැවැත්වූ බවත් ඉන් පළමු, දෙවන හා තෙවන ස්ථාන සඳහා ත්‍යාග ප්‍රදානය කරන බවත් පැවසූහ.

     

    මෙවර ත්‍යාග ප්‍රදානය කිරීමේ වෙනසක් සිදු කර ඇත. 2013 වසර සඳහා ත්‍යාග ප්‍රදානයේදී මුදල් ත්‍යාග ලබාදීමට පියවර ගනු ඇත. ඒ අනුව පළමු ජයග්‍රාහකයා සඳහා රුපියල් 5,000ක්, දෙවන ස්ථානයට රුපියල් 3,000ක් හා තෙවන ස්ථානයට රුපියල් 2,000 බැගින් ප්‍රදානය කෙරේ. මේ මුදල් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ මහා සංඝරත්නය විසිනි. මේ වසරේදී පිරිවෙන් සඳහාත් ත්‍යාග ප්‍රදානය කිරීමට අපේක්ෂිතයි. එහිදී වැඩිම තරග ජයග්‍රහණය කරනු ලබන පිරිවෙන් සඳහා ද පළමු ස්ථානය සඳහා රුපියල් 50,000, දෙවන ස්ථානයට රුපියල් 30,000 හා තෙවන ස්ථානයට රුපියල් 20,000 යනාදී වශයෙන් මුදල් ත්‍යාග ප්‍රදානය කරන අතර මේ ත්‍යාග විද්‍යායතන පිරිවෙන්, මහ පිරිවෙන් හා මූලික පිරිවෙන් ලෙස වෙන් වෙන් වශයෙන් ද ප්‍රදානය කරන බව උන් වහන්සේ ප්‍රකාශ කළහ.

     

    මීට අමතරව පිරිවෙන් සඳහා කුසලතා සම්මාන ද ප්‍රදානය කෙරේ. පිරිවෙන්වල දිරිගැන්වීමක් ලෙස මේ මුදල් ප්‍රදානය කරන බව පැවසූ උන් වහන්සේ මේ වන විට පිරිවෙන් අධ්‍යාපනයේ විශාල පිබිදීමක් සිදු වී ඇති බව කීහ. අයවැය මඟින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවර රුපියල් මිලියන 350ක් පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත. අය-වැයකින් පිරිවෙන් සඳහා මුදල් වෙන් කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya