අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයෙන් නව ඇන්තූරියම් හා ඕකිඩ් ප්‍රභේද රැසක්

    ඔක්තෝබර් 07, 2015

    රාජකීය උද්භිද උද්‍යානය  නිපදවා වූ නව ඇන්තූරියම් හා ඕකිඩ් ප්‍රභේද දේශීය වගාකරුවන් වෙත හදුන්වා දීමේ උත්සවයක් පසුගියදා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ දී පැවැත්විණි.

    ඒ සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා පිහිටුවා ඇති සුවහස් මල් සංගම් නියෝජනය කරමින් දේශීය මල් වගාකරුවන් රැසක් හා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව හා අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීන් ද සහභාගි වූහ.

     

    පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මල් වගා පර්යේෂණ හා සංවර්ධන අංශය මඟින් නිපදවා වැඩිදියුණු කරන ලද නව ඇන්තූරියම් හා ඕකිඩ් ප්‍රභේද රැසක් මල්වගා ක්ෂේත්‍රයට හදුන්වා දී ඇත. වර්ෂ 1970 දී පමණ ආරම්භකොට වසර ගණනාවක් තිස්සේ මල් වගා පර්යේෂණ හා සංවර්ධන අංශය මඟින් උසස් තත්වයේ දේශීය මව් ශාකවල මල් දෙමුහුම් කිරීමේ ක්‍රමවේදය මඟින් මෙම නව ප්‍රබේද නිපදවා ඇත.

     

    ඒ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය මඟින් දැනට “කැපූ මල්” ඇන්තූරියම් ප්‍රභේද 36, ඇන්තූරියම් “ලේඩිජේන්” ප්‍රබේද 31, “ඩෙන්ඩ්‍රෙඩබියම්” ඕකිඩ් ප්‍රභේද 04, “පැලනොප්සිස්” ඕකිඩ් ප්‍රභේද 01 සහ “කැට්ලියා” ඕකිඩ් ප්‍රභේද 01 අළුතින් මල්වගා ක්ෂේත්‍රයට හදුන්වා දී ඇත. මෙම නව ප්‍රභේද ලංකාවේ දේශගුණික තත්වයන්ට ගැලපෙන, රෝග හා පළිබෝධකයන්ට ඔරොත්තු දෙන හා ඉහළ අස්වැන්නක් ලබා දෙන වර්ග වන අතර ලබාගත හැකි මල්  අපනයනය සඳහා පිළිගත් සම්මත තත්වවලින් යුක්ත වීම විශේෂ ලක්ෂණයකි.

     

    මෙහිදී මෙම නව ප්‍රබේදවල පැල, මල් වගා කරුවන්ට ලබා ගැනීමේ අවස්ථාවද සලසා තිබූණි. දේශීය මල් වගාකරුවන් අතර මෙම නව ප්‍රබේද ජනප්‍රිය කරවීමටත් ඉදිරියේ දී ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව හා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව එම ප්‍රබේද අපනයන වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් මෙහිදී අනාවරණය විය.

     

    දැනට අපනයන වෙළඳපොළේ ජනප්‍රිය වී ඇති විදේශීය ඇන්තූරියම් හා ඕකිඩ් ප්‍රබේද වෙනුවට මෙම දේශීය ප්‍රබේදවල කැපූ මල් අපනයන වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුණහොත් ලංකාවේ මල් වගා කර්මාන්තයේ විශාල ජයග්‍රහණයක් ලෙස එය සනිටුහන් කළ හැකි බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

     

    නව ප්‍රබේද නිපදවීමට අමතරව පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මල් වගා පර්යේෂණ හා සංවර්ධන අංශය මඟින් මල් වගාව සම්බන්ධ විවිධ පර්යේෂණ සිදුකරන අතර දිවයින තුල මල් වගාව සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් සපයයි. මල් වගා පර්යේෂණ වැඩසටහන් යටතේ පටක රෝපණය, ශාක අභිජනනය, ශාක ප්‍රචාරණය, බෝග වගා ක්‍රම, රෝග හා පළිබෝධ පාලනය හා පසු අස්වනු තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සිදු කරයි. මල් වගා සංවර්ධන වැඩසටහන් යටතේ මල් වගා පුහුණු වැඩසටහන් පැවැත්වීම, ක්ෂේත්‍ර උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මල් වගාව සම්බන්ධ ප්‍රකාශන නිකුත් කිරීම, මල් ආශ්‍රිත අගය එකතු කළ නිශ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම වැනි කාර්යන් සිදු කරයි.

    එමෙන්ම සුවහස් මල් ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා විසීරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන් ඒකරාශීකොට ගොවිජනසේවා බල ප්‍රදේශ යටතේ මල් සංගම් ස්ථාපිත කොට ඇත. දැනට දිවයින තුල සුවහස් මල් සංගම් 150 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. එම වැඩසටහන යටතේ මල් වගාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, අවශ්‍ය පුහුණුව හා උපදෙස් සැපයීම හා මල් ආශ්‍රිත නිශ්පාදන සඳහා අවශ්‍ය වෙළඳපොළ පහසුකම් සැපයීම සිදුකරයි. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සතු පේරාදෙණිය සහ ගම්පහ උද්භිද උද්‍යාන තුල පිහිටි පටක රෝපණ විද්‍යාගාර මඟින් උසස් තත්වයේ මල් පැල විශාල වශයෙන් නිපදවා වගා කරුවන්ට ලබා දීම මල් වගා කර්මාන්තය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් සපයයි. මේ අනුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව වසර ගණනාවක් තිස්සේ මල් වගා කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා වැදගත් සහ තීරණාත්මක කාර්යයන් රැසක් ඉටු කරමින් ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya