අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.08.14 - අමාත්‍ය මණ්ඩල තීරණ

    අගෝස්තු 14, 2014

    නාගරික ඝන අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට සංක්‍රාමණය හා බැහැරලීම


    කොළඹ අගනගර ආශ්‍රිත කලාපයේ ජනනය වන ඝන අපද්‍රව්‍ය බැහැර කරලීම සඳහා පරිසර හිතකාමී වූත් ආර්ථිකමය වශයෙන් ශක්‍යවූත් සාර්ථක විසඳුමක් ක්‍රියාවේ යෙදවීම සඳහා වසර ගණනාවක සිට රජය උත්සාහ දරනු ලැබීය. මෙම ප්‍රයත්නය තුළ කොළඹ අගනගර ආශ්‍රිත කලාපය සඳහා යෝජිත සනීපාරක්ෂක කසල රඳවනයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වූ හේතු නම් සමාජමය හා දේශපාලනමය වශයෙන් මතු වූ ගැටලුය. කොළඹ පමණක් දැනට ඝන අපද්‍රව්‍ය මෙට්රික් ටොන් 700ක් පමණ දිනකට එකතු වන අතර අනෙකුත් කොළඹ ආශ්‍රිත පළාත් පාලන බලප්‍රදේශ තුළ ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්රික් ටොන් 1200ක් පමණ වේ.


    මේ සමග ඉදිරියේදී ජනනය විය හැකි ප්‍රමාණයද සලකා බලා පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක කසල රඳවනයක් හා කොළඹ මීතොටමුල්ලේ සංක්‍රාමණ මධ්‍යස්ථානයක්ද ඉදිකර ඒ හරහා ඝන අපද්‍රව්‍ය දුම්රිය මගින් යෝජිත කසල රඳවනයට ප්‍රවාහනය කර පරිසර හිතකාමී ලෙස එහි  බැහැරලීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

    කුඩා වැවිලි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන කාල සීමාව දිගු කිරීම


    මෙම වැඩසටහන කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ IFAD ණය ආධාර මත වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වේ. මොනරාගල දිස්ත්‍රික්කය තුළ හෙක්ටයාර් 5087ක් රබර් නව වගාවට හා මැදරට හෙක්ටයාර් 157ක් තේ නව වගාවට එක් කරමින් මෙම ව්‍යාපෘතිය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය රබර් සංවිධාන පර්ෂද 164ක් හා මැදරට ව්‍යවසායකත්ව කණ්ඩායම් 241ක් ස්ථාපනය කර ඇත. කුඩා තේ හා රබර් වතු හිමියන් බලගැන්වීම අරමුණු කර ගෙන කුඩා වතු හිමියන් 18,000ක් පමණ මෙම ව්‍යාපෘතියේ ඍජුවම ප්‍රතිලාභ ලබා ඇත. මෙම ව්‍යාපෘතියේ කාල සීමාව IFAD නිර්දේශ පරිදි 2016.12.31 දක්වා දිගු කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් ගෙන එන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    මධ්‍යම හා ඌව පළාත් වල මාර්ග කි.මී.64.31ක් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම හා පාලම් 13ක් නැවත ඉදි කිරීම


    මධ්‍යම හා ඌව පළාත්වල මාර්ග කි.මී. 64.31ක් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම හා පාලම් 13ක් නැවත ඉදිකිරීම සඳහා චීනයේ ඉදිකිරීම් සමාගමකට පැවරීමට මහාමාර්ග,  වරාය හා නාවික අමාත්‍ය වරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ. මේ යටතේ වැඩි දියුණු කරන මාර්ග පහත දැක්වේ.


    * නුවර - කිරිමැටිය පාර ( කි.මී.0.07.64)

    * අම්පිටිය - ගුරුදෙණිය පාර  ( කි.මී.0.0 – 225)

    * නුවරඑළිය - රාගල - උඩුපුස්සැල්ලාව පාර  ( කි.මී.19.0 – 46.0)

    * වැලිමඩ - කර්ක්ලෙස් පාර  ( කි.මී.0.0 – 17.83)

    * අවිස්සාවේල්ල - හැටන් - නුවරඑළිය පාර  ( කි.මී.98.9 – 108.49)


    ඒ අනුව මධ්‍යම හා ඌව පළාත්වල කි.මී. 64.31ක සම්පූර්ණ දිගකින් යුත් මාර්ග පහක් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව රු.11,009,175,782.36 (වැට් රහිත) ගිවිසගත් කොන්ත්‍රාත් මුදලකට ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබිණ.


    යාපනය, සබරගමුව, කැලණිය, පේරාදෙණිය, බෞද්ධ හා පාලි සහ නැගෙනහිර විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම


    මේ සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සාර්ථකව කටයුතු කරන සුදුසුකම් සහිත කොන්ත්‍රාත් කරුවන් 05 දෙනෙකු ගෙන් සීමිත මිල ගණන් කැඳවීමෙන් තෝරා ගත් කොන්ත්‍රාත්කරුවකුට සැලසුම් කර ඉදිකිරීම් නිම කර භාර දීමේ පදනම මත (Turnkey) ප්‍රදානය කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    ජර්මානු රජයේ ප‍්‍රදානයක් ලෙස ශ‍්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ ස්ථාපනය කිරීම

     

    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ අංග සම්පූර්ණ පුහුණු ආයතනයක් වශයෙන් ශ‍්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ ස්ථාපනය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය පිළිබඳ ව ජර්මානු ජනරජය හා ශ‍්‍රී ලංකා රජය අතර මේ වන විටත් ගිවිසුම් අත්සන් තබා ඇත.

    ආයතනය ඉදි කිරීමේ කටයුතු 2014 ඔක්තෝබර් මාසයේ දී ඇරඹීමටත් එය රුපියල් මිලියන 700ක (ආසන්න වශයෙන් යුරෝ මිලියන 04) වියදමින් 2015 වසරේ දී නිම කිරීමටත් අපේක්ෂිත ය. අදාළ කටයුතු ඉදිරියට කර-ගෙන යාම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    කොළඹ ජාතික කෞතුකාගාරයේ අලුත්වැඩියා කටයුතු


    කොළඹ ජාතික කෞතුකාගාරයේ අලුත්වැඩියා කටයුතු ශ‍්‍රී ලංකා යුද හමුදාව මගින් ඉටු කරවා - ගැනීමටත් උපදේශන සේවා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයෙන් ලබා ගැනීමටත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට නව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් මිල දී ගැනීම


    ණය තොරතුරු එක්රැස් කිරීම, සැසඳීම හා ඒ ණය තොරතුරු සාමාජික ණය දෙන ආයතන වෙත ලබා-දීම යන අරමුණු පෙරදැරි ව 1990 අංක 18 දරන ණය තොරතුරු පනත යටතේ ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය 1990 දී පිහිටුවන ලදි. රටෙහි පවත්නා සාමකාමී වාතාවරණය හා සාර්ව ආර්ථික පරිසරයේ වූ දියුණුව හේතුවෙන් ආර්ථික වර්ධනය වේගවත් වී ඇති බැවින් ණය ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර, ඒ සමග ම සාමාජික මූල්‍ය ආයතන මගින් සිදු කෙරෙන ණය තොරතුරු ඉල්ලුම ද ඉහළ ගොස් ඇත. ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සඳහා යෝජිත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් මගින් සියලු මූල්‍ය ආයතනවලට ඍජුමාර්ගගත ව (Online) ණය තොරතුරු කඩිනම් ව ලබා-දීමට හා ලබා-ගැනීමට අවස්ථාව සැලසෙන අතර, එ මගින් ණය තොරතුරුවල ගුණාත්මක භාවය හා නිරවද්‍යතාව ඉහළ නැංවෙනු ඇත. ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් මිල දී ගැනීමට අදාළ කටයුතු ඉදිරියට කර-ගෙන යාම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාවට අදාළ ව අතිගරු ජනාධිපතිතුමන් ගේ විශේෂ නියෝජිතයකු ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගේ චීන මහජන සමූහාණ්ඩුවේ චාරිකාව - 2014 ජුනි 29 සිට ජූලි 05 දක්වා


    ඉහත සංචාරය සම්බන්ධ ව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු මත ශ‍්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කර-ගැනීම, දෙ රට අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනම් කිරීම, වෙළෙඳ හා සංචාරක අංශයේ සහයෝගිතාව වර්ධනය කිරීම, හා ශ‍්‍රී ලංකාවේ ආයෝජනය සඳහා චීන සමාගම් දිරිමත් කිරීම පිළිබඳ මූලිකාවධානය යොමු කරමින් අමාත්‍යවරයා විසින් චීන මහජන සමූහාණ්ඩුවේ නායකයන් සමග පවත්වන ලද සාකච්ඡා මගින් අත් කර-ගන්නා ලද සතුටුදායක ප‍්‍රගතිය පිළිබඳ ව අමාත්‍යවරුන් ගේ අවධානය යොමු විය. තව ද චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති අතිගරු ෂී ජිංපිංග් මහතා නුදුරු අනාගතයේ දී ශ‍්‍රී ලංකා සංචාරයක යෙදෙන අතර, එය චීන ජනරජයේ රාජ්‍ය නායකයකු ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව බව ද අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු විය.

     

    ආරියරත්න ඇතුගල
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya