අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ -2016.03.02

    මාර්තු 03, 2016

    2016.03.02 වැනි දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.

    ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ කාර්යභාරය පුළුල් කිරීම

    - ආර්ථික කටයුතු, මුදල් හා මූල්‍ය ප්‍රතිපත්තිය, ජාතික ආයෝජන වැඩසටහන, පෞද්ගලික අංශයේ ආයෝජන පහසුකරලීම, ආයෝජන සහ රටේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් සෘජුව අදාළවල විවිධ නීති පද්ධතීන් ක්‍රියාත්මක කිරීම ආදී විෂයයන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව ස්ථාපිත කරනු ලැබ ඇත. එම කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය වෙත සිදු කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම කාර්යක්ෂම කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණ ජයන්තිය සැමරීම

    - 1966 අංක 10 දරන සංචාරක මණ්ඩල පනත නීතිගත කිරීමෙන් අනතුරුව 1966 වර්ෂයේදී ලංකා සංචාරක මණ්ඩලය ස්ථාපිත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉලක්කගත එළඹුමකින් යුතුව ක්‍රියාත්මක වීම ආරම්භ විය. එතැන් සිට පසුගිය පනස් වසරක කාලය තුළ ඉතා ඉහළ ආදායමක් උපයා ගැනීමට මෙරට සංචාරක ව්‍යාපාරය සමත්ව ඇති අතර, එමඟින් ජනනය කර ඇති සෘජු සහ වක්‍ර රැකියා සංඛ්‍යාව ලක්ෂ තුනකට (03) ආසන්න වේ. 1966 වර්ෂයේදී 19,079ක් වූ සංචාරකයන්ගේ මෙරටට පැමිණීම 2015 වර්ෂය වන විට 1,798,380ක් දක්වා වර්ධනය වී ඇත. පසුගිය වර්ෂයේදී ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් මෙන්ම 2016 අයවැය යෝජනා මඟින්ද ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. ඒ අනුව, සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමනට දායක වන පරිදි ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණ ජයන්තිය සැමරීම පිණිස සැමරුම් වැඩසටහනක් මෙම වර්ෂය තුළ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවීමට නියමිත බවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

    ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රියාව අතර ද්විපාර්ශ්වික ගුවන්සේවා සාකච්ඡාව

    - ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රියාව අතර ද්විපාර්ශ්වික නව ගුවන් සේවා ගිවිසුමක් ඇති කරගැනීම පිළිබඳ සාකච්ඡාවන් දෙරටෙහි ගඟන නාවික බලධාරින්ගේ සහභාගිත්වයෙන් 2015 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රියාවේ වියානා නුවරදී පැවැත්විණි. ඒ අනුව, එම සාකච්ඡාවලදී එකඟවූ පරිදි ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රියාව අතර ද්විපාර්ශ්වික නව ගුවන් සේවා ගිවිසුම ශ්‍රී ලංකා රජයේ බලයලත් නියෝජිතයකු මඟින් අත්සන් කිරීමටත්, ඉන් අනතුරුව එම ගිවිසුම ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා යෝග්‍ය පියවර ගැනීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (Anti-Personnel Mine Ban Convention) හෙවත් ඔටාවා සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම

    - ශ්‍රී ලංකාවේ පැවති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් රටෙහි උතුරු සහ නැගෙනහිර පළාත් බිම්බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය අවශේෂ මඟින් බරපතළ ලෙස විවිධ බලපෑම්වලට ලක්ව ඇත. අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ පුද්ගලයන් ආරක්ෂිත ලෙස නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉතා වැදගත් වන අතර, එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ දිවි පැවැත්මට සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතුවලට බිම් බෝම්බ සහ යුද අවශේෂ මඟින් සිදු කරනු ලබන තර්ජනයන් වළක්වාගත යුතුව ඇත. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන, ඔටාවා සම්මුතිය නමින් හැඳින්වෙන පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය ශ්‍රී ලංකා රජය විසින් අපරානුමත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොළව මට්ටමට ඉහළින් කුලුනු මත ඉදි කරනු ලබන (elevated) වරාය ප්‍රවේශ මහාමාර්ග ව්‍යාපෘතිය - ආසියානු සංවර්ධන බැංකුව වෙතින් මූල්‍ය සහාය ලබාගැනීම සඳහා අනුමැතිය ලබාගැනීම

    - කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි සිට නැව් බඩු සහ බහාලුම් කොළඹ කොටුව වෙත බාධාවකින් තොරව ගෙන ඒම පිණිස සහ කොළඹ නාගරික ප්‍රදේශයේ දැනට පවතින රථවාහන තදබදය අවම කිරීම පිණිස අධිවේගී මාර්ග ජාලය සමඟ කොළඹ කොටුව ප්‍රදේශය සම්බන්ධ කිරීම සඳහා පෑලියගොඩ නව කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා කිලෝමීටර 5.8ක දිගින් යුත්, පොළොව මට්ටමට ඉහළින් කුලුනු මත ඉදි කෙරෙන මහාමාර්ගයක් රුපියල් බිලියන 36ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ලෝක බැංකු විසින් අරමුදල් සැපයීමට නියමිත ප්‍රවාහන සම්බන්ධතා සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය

    - ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ වෙනත් ජාත්‍යන්තර ආධාර ආයතන විසින් ලෝකයේ බොහෝ රටවල මාර්ග පුනරුත්ථාපනය කිරීම හා නඩත්තු කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන නිමැවුම් හා කාර්යසාධනය මත පදනම් කොන්ත්‍රාත් ක්‍රමය (Output and Performance based Contract-OPRC) යටතේ පෑලියගොඩ - පුත්තලම මාර්ගය පුනරුත්ථාපනය කිරීම, නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සහ එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීම පිණිස ලෝක බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම

    - ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කෙරේ. එම වැඩසටහන යටතේ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුවේ නිර්දේශය පරිදි හා නියමිත සුදුසුකම් සපුරා ඇති යෝග්‍ය ආයෝජකයින්ට/ආයතනවලට අදාළ කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ 03 පෙරහැර මාව‍තේ පිහිටි ඉඩමක් කොළඹ ක්‍රමය ලේකම් කාර්යාලය වෙත වෙන් කර දීම

    - දැනට කුලී පදනම මත ලබාගත් ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබන, ශ්‍රී ලංකාවේ ස්ථානගත කර ඇති ජාත්‍යන්තර කාර්යාංශයක් වන කොළඹ ක්‍රමය ලේකම් කාර්යාලය ප්‍රමාණවත් ඉඩකඩ සහිත පරිශ්‍රයක ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එම ලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති කොළඹ 03, පෙරහැර මාවතේ පිහිටි බිමි කොටසක්, පනස් අවුරුදු බදු පදනම මත කොළඹ ක්‍රමය ලේකම් කාර්යාලය වෙත ලබ‍ා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඉන්දියානු ආධාර යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයන් වෙත ධීවර ආම්පන්න කට්ටල 150ක් ලබා දීම

    - වසර 30 ක් පුරා පැවති යුදමය වාතාවරණය හේතුවෙන් මුලතිව් ප්‍රදේශවාසී ධීවර ප්‍රජාවට සිය ධීවර ආම්පන්න අහිමි වීම සහ ඒවාට අලාභහානි සිදුවීම හේතුවෙන් මහත් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව තිබේ. එම ධීවරයින්ට සහන සැලසීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි බෝට්ටුවල පිටතින් සවි කරන එන්ජින් සහ ධීවර ආම්පන්න කට්ටල 150 ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළ කරනු ලැබ තිබේ. රුපියල් මිලියන 100 ක් පමණ වන එම ආම්පන්න කට්ටල ඉන්දියානු රජයේ ප්‍රදානයක් වශයෙන් ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බම්බලපිටිය මහල් නිවාස ප්‍රතිසංවර්ධනය

    - ඉහත නිවාස සංකීර්ණය අක්කර 10ක් හා පර්චස් 15.55 ක භුමි භාගයක් පුරා පැතිර පවතින නමුත් එහි සහාධිපත්‍ය නිවාස ඒකක 259 ක් සහ වාණිජ ඒකක 10 ක් පමණක් පිහිටා තිබේ. තවද අඩසියවසක් පැරැණි මෙම ගොඩනැඟිලි මුහුදට ආසන්නව පිහිටා තිබීම නිසා සැලකිය යුතු ලෙස දිරාපත්ව අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇත. සුවිශාල සංවර්ධන විභවයකින් යුතු මෙම භුමියෙහි 'බම්බලපිටිය මහල් නිවාස' ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය, ආයෝජන මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති විදේශ ආයෝජකයා සමඟ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගුවන් මගී තොරතුරු පෙර ක්‍රියාවලිගත කිරීමේ (APIP) සහ මගී නාම වාර්තා ලබාගැනීමේ (PNR) පද්ධතියක් ස්ථාපිත කිරීම

    - ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ Socie'te' Internationale de Te'le' communications Ae'ronautiques (SITA) ආයතනය පාර්ශ්වකරුවන් වශයෙන් සම්බන්ධ කරගනිමින් ගුවන් මගී තොරතුරු පෙර ක්‍රියාවලිගත කිරීමේ (Advance Passenger Information Processing - APIP) සහ මගී නාම වාර්තා ලබාගැනීමේ (Passenger Name Record - PNR) පද්ධතියක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    වායු විමෝචන සහතික නිකුත් කිරීමේ ව්‍යාපෘතිය

    - වායු විමෝචන පිළිබඳ ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම පිණිස මෝටර් වාහන පරික්ෂා කර සහතික පත් නිකුත් කිරීමේ කාර්යය සඳහා බලයලත් වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථාන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ දැනට ගිවිසුම්ගතව සිටින සමාගම් දෙකෙහි කොන්ත්‍රාත් කාලය 2016 07 01 දිනෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව ඉදිරි වසර 05 ක කාලය සඳහා වායු විමෝචන පරික්ෂණ මධ්‍යස්ථාන ඇති කර වායු විමෝචන ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පෞද්ගලික අංශයේ සමාගම් කිහිපයක් කොන්ත්‍රාත්කරුවන් ලෙස තෝරා ගැනීම පිණිස ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමටත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු වාහන මෙම වැඩසටහනට අනුගත කරගැනීම පිණිස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාහන පරික්ෂා කිරීමේ මධ්‍යස්ථාන පළාත් නවයෙහි ඉදි කිරීම සඳහාත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගාල්ල, ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ සමන්තුරේ උසස් තාක්ෂණ ආයතනයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

    - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය වෙත පැවරී ඇති කාර්යයන් සාක්ෂාත් කරගැනීම පිණිස සෑම දිස්ත්‍රික්කයකම උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය බැගින් පිහිටුවීමට සැලසුම් කර ඇත. දැනට ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යටතේ උසස් තාක්ෂණික ආයතන 11ක් සහ උසස් තාක්ෂණික ආයතන 06ක් ක්‍රියාත්මක වන අතර, එමඟින් පිරිනමනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා සඳහා ඉතා ඉහළ පිළිගැනීමක් පවතී. පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා එහි පාඨමාලාවන් සඳහා 2015 වර්ෂයේදී ඉල්ලුම් කළ 20,000කට අධික සිසුන්ගෙන් බඳවා ගැනීමට හැකි වී ඇත්තේ 35%ක පමණ ප්‍රමාණයකි. ඒ හේතුවෙන් වර්තමාන ශ්‍රම වෙළදපොළ තුළ ප්‍රමුඛ පිළිගැනීමක් සහිත ඉංජිනේරු, ප්‍රමාණ සමීක්ෂණය, ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය ආදී වි‍ෂය ක්ෂේත්‍රයන්හි උසස් තාක්ෂණික අධ්‍යාපනය ලැබීමට සිසුන්ට ඇති අවස්ථාව සීමා වී ඇත. ඊට විසඳුමක් ලෙස කෑගල්ල, දෙහිවල, යාපනය, ගාල්ල, ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ සමන්තුරේ පිහිටි උසස් තාක්ෂණ ආයතනවල ගොඩනැඟිලි, උපකරණ, කාර්ය මණ්ඩල හා ශිෂ්‍ය ධාරිතා සංවර්ධනය සඳහා වූ ව්‍යාපෘතීන් රුපියල් මිලියන 2,368.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය සහ පිටත වටරවුම් මහාමාර්ගය සමඟද සම්බන්ධතාව සහිතව නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කණු මත ඉදි කරනු ලබන මහාමාර්ගය (Elevated Highway)

    - කොළඹ නගරය, අර්ධ නාගරික ප්‍රදේශ සහ අධිවේගී මාර්ගයන් අතර මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට සහ දැනට පවතින රථවාහන තදබදය අවම කිරීම පිණිස කුලුනු මත ඉදි කරනු ලබන මහාමාර්ග (Elevated Highway) ජාලයක් කොළඹ නගරය තුළ ඉදි ‍කිරීමට යෝජනා වී ඇත. ඒ යටතේ, යෝජිත නව කැලණි පාලමෙන් ආරම්භ වී රාජගිරියෙන් අවසාන වන කිලෝමීටර 6.9ක් දිගැති මංතීරු 4කින් යුත්, කුලුනු මත ඉදි කරනු ලබන මහාමාර්ගයක් ඉදි කිරීමට යෝජිතය. මෙම කොටස, දෙවන අදියරේදී අතුරුගිරිය ප්‍රදේශයේදී පිටත වටරවුම් මහාමාර්ගය හා සම්බන්ධ‍ වන පරිදි දකුණු දෙසට දීර්ඝ කෙරෙනු ඇත. එසේම කුලුනු මත ඉදි කෙරෙනු ලබන යෝජිත මහාමාර්ගයේ මෙම කොටසේ උතුරු දිග කෙළවර නව කැලණි පාලම අසලදී කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ වනු ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඩිප්තීරියා, ටෙටනර්ස්, පර්ටුසිස්, හෙපටයිසිස් බී සහ හිමොෆිලස්, ඉන්ෆ්ලුන්සා වර්ග බී හි සංයුක්ත දියරමය බීපී, යූඑස්පී හෝ ඊපී (පෙන්ටාවෙලන්ටා) මාත්‍රා 1,200,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

    - ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ඉහත එන්නත් මිල දී ගැනීමේ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරු වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ක්ලොෆිඩොජල් පෙති මිලිග්රෑම් 75න් පෙති 120,000,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

    - හෘද රෝගීන්ගේ රුධිර කැටි ගැසීම වළක්වා ගැනීම සඳහා භාවිත කරනු ලබන ඉහත අත්‍යවශ්‍ය ඖෂධය මිල දී ගැනීමේ ටෙන්ඩරය ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද ලංසුකරු වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

    එනොක්සපාරින් සෝඩියම් එන්නත් 6,000 අයියූ,මිලි ග්රෑම් 60/මි.ලි 0.6 පෙර පුරවා ඇති සිරින්ජර් 580,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

    - හෘද රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන ඉහත එන්නත් මිල දී ගැනීමේ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරු වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රේබීස් වැක්සීන් (හියුමන් යූස්) (1 මි.ලී/0.5 මි.ලී) වයල්ස් 300,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
    - ජලභීතිකා රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා භාවිත කරනු ලබන ඉහත එන්නත් මිල දී ගැනීමේ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරු වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී (පීඑච් ඊයූආර්)20% මිලි ලීටර් 50 බෝතල් 80,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

    - වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන ඉහත ඖෂධය මිල දී ගැනීමේ ටෙන්ඩරය ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද ලංසුකරු වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සාර්ක් (SAARC) තරුණ ප්‍රඥප්තිය අත්සන් කිරීම

    - තරුණයන්ගේ සෞඛ්‍ය, යහපැවැත්ම, අයිතිවාසිකම් සහ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම 'සාර්ක් තරුණ ප්‍රඥප්තිය' (SAARC Youth Charter) මඟින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ. එසේම එකී අරමුණු සාක්ෂාත් කරගැනීමේදී දකුණු ආසියානු කලාපයේ තරුණයන්ගේ දැනුම ලබාගැනීම තුළින් ජාතික සංවර්ධනය වේගවත් කිරීමටත්, තරුණයන් සඳහා ප්‍රතිලාභ අත්කර දෙමින් කුසලතාවන් හා අවස්ථාවන් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනිමින් සියල්ලන්ටම රැකියා අවස්ථාවන් ලබා දීමත් එමඟින් තවදුරටත් අපේක්ෂා කෙරේ. ඒ අනුව, මේ වසරේ මාර්තු මස 17 වන දින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන සාර්ක් අමාත්‍යවරුන්ගේ කවුන්සිලයෙහි (SAARC Council of Ministers) 36 වන සැසිවාරයේදී අත්සන් තැබීමට නියමිත සාර්ක් තරුණ ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව විසින් අත්සන් තැබීම සඳහා සහ අපරානුමත කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිළිබඳව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩසටහන

    - සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව වන අව‍බෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව හා තායිලන්තය විසින් 2013 වර්ෂයේදී අත්සන් තබා ඇත. තායිලන්තයේ ගරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඉහත අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩසටහනකට(Joint Action Programme) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සහ තායිලන්ත රාජධානියේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    2015/2016 මහ කන්නය තුළ වී මිලදී ගැනීමේ වැඩසටහන

    - 2015/2016 මහ කන්නය සඳහා වන වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ කර ඇති අතර, වී මිල දී ගැනීමේ රජය ප්‍රතිපත්තිය ප්‍රකාර මෙම කන්නයේදී දිස්ත්‍රික්ක 19ක වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, 2015/2016 මහ කන්නය තුළ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ වී අලෙවි මණ්ඩලය විසින් ගොවි ජනතාවගෙන් සෘජුවම වී මිල දි ගැනීමටත්, එම වැඩසටහන අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ/දිසාපතිවරුන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමටත්, මිල දී ගනු ලබන 'කීරි සම්බා' කිලෝග්‍රෑමයකට රුපියල් 50/-ක්ද 'සම්බා' වර්ගයේ වී කිලෝග්‍රෑමයකට රුපියල් 41/-ක්ද 'නාඩු' වර්ගයේ වී කිලෝග්‍රෑමයකට රුපියල් 38/-ක්ද බැගින් ගෙවීමටත්, එක් අයෙකුගෙන් වී කිලෝග්‍රෑම් 2,000ක උපරිමයකට යටත්ව කන්නය තුළ වී වගාවේ නිරතව ඇති ගොවීන්ගෙන් වී මිල දී ගැනීමටත්, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මෙහෙයුම් කල්බදු යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය ආයතන සඳහා වාහන ලබාගැනීම

    - රාජ්‍ය ආයතන සඳහා වාහන මිල දී ගැනීමට මෙන්ම වාහනවල අධික අලුත්වැඩියා වියදම් හා පරිපාලනමය ප්‍රමාදයන් නිසා සිදුවන වියදම් හේතුවෙන් වාහන නඩත්තුව සඳහාද රජය විසින් සැලකිය යුතු මුදලක් වැය කරනු ලබයි. පවත්නා ක්‍රමයේ ඇති දුර්වලතා මඟහැරීමටත්, දැනට සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම වාහන විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමට වැය කරන වියදම අඩු කිරීම සඳහා මෙන්ම රටේ කල්බදු කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් එහි කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහාත් රාජ්‍ය ආයතන හා රජයට අයත් ව්‍යාපාරවල නිල වාහන සඳහා සුදුසුකම් ඇති නිලධාරින්ට හා සංචිතවලට වාහන ලබා ගැනීමට 'මෙහෙයුම් කල්බදු යෝජනා ක්‍රමයක්' හඳුන්වාදීමට 2016 අයවැය මඟින් යෝජනා වී තිබේ. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟින් තෝරා ගනු ලබන වාහන කුලී සේවාවන් සපයන සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ගෙන් මාස 60ක ස්ථාවර කුලී පදනම යටතේ 'භාවිත කර ආපසු භාරදීමේ' විකල්පය මත රජයට අවශ්‍ය වාහන වලින් කොටසක් සපයා ගැනෙන අතර වාහනයේ රක්ෂණාවරණ, ආදායම් බලපත්‍ර ගාස්තු, සියලුම අලුත්වැඩියා ගාස්තු හා වෙනත් අදාළ ගාස්තු වාහන කල්බදු දෙන්නා විසින් දරනු ලබන අතර, රියදුරු සහ ඉන්ධන සඳහා යන වියදම පමණක් රජය විසින් දරනු ලැබේ. රජයට උපරිම වියදම් ඉතිරියක් ඇතිවන පරිදි යෝජිත මෙහෙයුම් කල්බදු යෝජනා ක්‍රමය යටතේ වාහන ලබාගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya