Print this page

මෛත්‍රී යුගයේ පිදෙන පොළොන්නරුව

අගෝස්තු 02, 2018
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට සංවර්ධනයේ රන් අරුණළු උදාකරණ "පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනගතකිරීම ඊයේ (01)අද (02) සහ හෙට (03) දිනවලදී ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරෙන්නේ සියවස් ගණනාවකට පසු පොළොන්නරුව දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 6000ක් වැය කිරීමෙනි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව 2015 වසරේ දී "පිබිදෙමු පොළොන්නරුව" වැඩසටහන ආරම්භ කොට ඇත. 
 
වත්මන් හා අනාගත පරපුරේ සුභසිද්ධිය වෙනුවෙන් කරනු ලබන මෙම ආයෝජනය හරහා පාසල් 85ක භෞතික සම්පත් දියුණු කරමින් පන්ති කාමර ගොඩනැගිලි, සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණික උපදේශන ඒකක, විදුහල්පති හා ගුරු නිවාස, තාක්ෂණික උපදේශන ඒකක, බහු 5කාර්යය ගොඩනැගිලි ආදී පුළුල් අවශ්‍යතා සපුරා ලීම සිදු කර තිබෙනවා. පාසල් අධ්‍යාපනයට අයත් මෙම ව්‍යාපෘති 110ක් වෙනුවෙන් වැය කර ඇති මුදල් රුපියල් මිලියන 665කි. 
 
සෞඛ්‍ය සම්පන්න ජනතාවක් උදෙසාද "පිබිදෙමු පොළොන්නරුව" වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කොට තිබේ. ඒ අනුව දිස්ත්‍රික්කය පුරා බටහිර හා ආයුර්වේද රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවක් සංවර්ධනය කොට තිබේ. ඒ අනුව රුපියල් මිලියන 890ක් වැය කරමින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණන 15කි. ඒ යටතේ හිඟුරක්ගොඩ රෝහලේ ඉදිකළ නව වකුගඩු රෝගී සායන ගොඩනැගිල්ල, දන්ත හා ශල්‍ය වෛද්‍ය ඒකකය, බකමූණ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ල හා වකුගඩු සායන ගොඩනැගිල්ල, මනම්පිටිය රෝහලේ බාහිර රෝගී අංශය හා සායන කටයුතු සඳහා ඉදිකළ ගොඩනැගිල්ල, මනම්පිටිය ආයුර්වේද රෝහලේ නව වාට්ටු ගොඩනැගිල්ල, අරලගංවිල රෝහලේ නව රසායනාාර හා සුවදිවි ගොඩනැගිල්ල මෙන් ම දිස්ත්‍රික්කය පුරා රෝහල්වල වෛද්‍ය නිලධාරි කාර්යාල පහසුකම් සමග අනෙකුත් අවශ්‍යතා ඒ අනුව සම්පූර්ණ කොට තිබේ.
 
thumbs 06උණගලා වෙහෙර, පුදූර් ඇතුළු ප්‍රදේශ තුනක පානීය ජල පහසුකම් ඇතුළු ජල සම්පාදන ව්‍යාපෘති  ද ක්‍රියාත්මක කොට ඇත. රුපියල් දස ලක්ෂ 91ක වියදමින් හිඟුරක්ගොඩ හා තමන්කඩුව ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිකළ නිවාස ව්‍යාපාති 15ක් හා රජයේ නිලධාරීන් වෙනුවෙන් ඉදිකළ නිවාස ව්‍යාපෘතිවල නව නිවාස ද "පිබිදෙමු පොළොන්නරුව" වැඩසටහන යටතේ සම්පූර්ණ කොට තිබේ. 
 
එමෙන් ම පොදු මහජනතාව වෙනුවෙන් පොදු පහසුකම් සංවර්ධනය කිරිම ද සිදු කොට තිබේ. ඒ වෙනුවෙන් ද ක්‍රියාත්මක කොට ඇති ව්‍යාපෘති ගණන 09කි. මෙම ව්‍යාපෘතිවල ද ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කොට අවසන්ය. මැදිරිගිරිය ප්‍රධාන බස් නැවතුම්පොළ හා හිඟුරක්ගොඩ දෙමහල් වෙළෙඳ සංකීර්ණය, ලංකාපුර ඉදිකර ඇති ප්‍රේක්ෂකයින් 800කට අසුන්ගත හැකි රංග ශාලාව ද මීට ඇතුළත් වේ. පොළොන්නරුව මහ නගර සභා ගොඩනැගිල්ල, ලක්ෂ උයන ප්‍රජා ශාලාව, මනම්පිටිය හෙළ බොජුන් හල වැනි ව්‍යාපෘති සඳහා වෙන් කොට ඇති මුදල් රුපියල් මිලියන 343කි. 
 
පොළොන්නරුවේ පිහිටි බෞද්ධ හින්දු හා ඉස්ලාම් පූජනීය ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කොට ඇති ව්‍යාපෘති ගණන 15කි. ඒ සඳහා රුපියල් මිලියන 55ක් වැය කොට තිබේ. ඒ යටතේ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ගණනාවකට සංඝාවාස ධර්ම ශාලා භික්ෂු නේවාසිකාගාර දාන ශාලා ඇතුළු පහසුකම් රැසක් ද සපුරා දීමට මෙම ව්‍යාපෘතිය යටතේ හැකිව තිබේ. හින්දු හා ඉස්ලාම් පූජනීය ස්ථාන ගණනාවකම ප්‍රතිසංස්කරණ කටයුතු මෙන් ම නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ද ඒ යටතේ කටයුතු කොට තිබේ. 
 
එමෙන් ම නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වන ආකාරයේ නගරයක්, යල මහ දෙකන්නයම වගා කළ හැකි ජාතියේ වාරි ඉතිහාසය මනාව පසක් කරන වාරි කෞතුකාගාරයක්, නාට්‍ය සංගීත ඇතුළු කලා කටයුතුවල සුපෝෂණය සඳහා රංගශාලා ක්‍රීඩාංණ ඇතුළු අවශ්‍යතා රැසක් ආවරණය වන පරිදි ව්‍යාපෘති රැසක් පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කොට ඇත.
 
"සියවසක දුර දකින පස්වසක දිගහැරුම" නමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක පොළොන්නරුව දිස්ත්‍රික් පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රදේශයේ මාර්ග, විදුලිය, කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, පරිසර ඇතුළු සියලූ ක්ෂේත්‍ර පුළුල් සංවර්ධනයකට ලක් කෙරෙන පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය තුළින් පොළොන්නරුව ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කරදෙමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයම කඩිනම් අනාගත සංවර්ධනයක් කරා පියනගනු ඇත.
 
 
- දිල්හාරි බණ්ඩාර -