Print this page

ඉතිහාසයේ ක්‍රීඩාවට වැඩි ම මුදලක් ලබා දී ඇත්තේ වත්මන් ජනාධිපතිතුමා

නොවැම්බර් 17, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) මේ රටේ ඉතිහාසයේ ක්‍රීඩාවට වැඩි ම මුදලක් ලබා දී ඇත්තේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේදී බවත් කිලිනොච්චිය, ත්‍රීකුණාමලය, මඩකළපුව, මාතර අම්පාර ඉදිකරමින් පවතින ගෘහස්ථ ක්‍රීඩාංගණ ලබන මස විවෘත කරන බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.


රුපියල් මිලියන 500ක් වූ ප්‍රතිපාදන රුපියල් මිලියන 6500 දක්වා වැඩි කර ඇත. ක්‍රීඩාව ගමට ගෙනියන්න, ක්‍රීඩාව ප්‍රචලිත කරන්න මේ මුදල් යොදවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දොළොස් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ 136 හා 219 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි‍.

මේ අමාත්‍යාංශයට මුදල් දීම වසරින් වසර වැඩි කර තිබෙනවා. ක්‍රීඩා ජාතික ප්‍රතිපත්තිය ගෙන එන්න අප කටයුතු කළා. පළමු වතාවට ජාතික ප්‍රතිපත්තියක් හැදුවේ අපි. මේ රටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. තිබූ ක්‍රීඩා පනත සංශෝධනය කරමින් ක්‍රීඩා රෙගුලාසි හැදුවා. ක්‍රීඩා භාණ්ඩ ආනයනයේදී කොන්දේසි ගෙනාවා. යටිතල පහසුකම් සැපයුවා. කොළඹින් පිට ගෘහස්ථ ක්‍රීඩාංගණයක් තිබුණේ නැහැ. ගමට ක්‍රීඩාව, තාක්ෂණය ගිහින් තිබුණේ නැහැ. ඒ සඳහා රුපියල් මිලියන 4500ක් ලබා දෙමින් පිහිනුම් තටාක, ගෘහස්ථ ක්‍රීඩාංගණ හදන්න කටයුතු කළා. හැම දිස්ත්‍රික්කයකට ම ක්‍රීඩාගාර, නේවාසිකාගාර, ධාවන පථ, ආපනශාලා ලබා දෙන යටිතල පහසුකම් සපයන වැඩපිළිවෙළක් හැදූ බව ද ඔහු කීය.

තහනම් උත්තේජක පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් තරග පාවාදීමේ පනත හදා ගෙන යන බවත් කී අමාත්‍යවරයා පාසල් දරුවන් සඳහා ක්‍රීඩාව අනිවාර්ය කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් කීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ලබන වසරේ සිට මේ වැඩපිළිවෙළ පාසල්වලට අනිවාර්ය කර තිබේ. ක්‍රීඩා වෛද්‍ය ඒකකය, ක්‍රීඩා විද්‍යාව, තාක්ෂණ ආයතනයක් හදා ගෙන යනවා. එක පළාතකින් 100 ගණනේ ක්‍රීඩා පුහුණුකරුවන් 1000න් දෙනා පුහුණුකරමින් නුපුහුණු දැනුම විධිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

ක්‍රීඩාව සම්බන්ධයෙන් චීනය, කොරියාව, කෙන්යාව හා කියුබාව සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගසා ඇති අතර වොලිබෝල් සඳහා විදෙස් පුහුණුකරුවෙක් ලබාදීමට ද කටයුතු කරනු ඇත. ක්‍රීඩා සංගම් ශක්තිමත් කරන්න කටයුතු කර ඇත. අද ක්‍රීඩා සමාජ 680ක් ක්‍රියාත්මකයි. මෙරට බීච් වොලිබෝල් අද ආසියාවේ 05 වන තැනට පත්ව ඇත. ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීමත් සමඟ ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර තරග 125ක් ඇවිත් තිබෙන බවත් ඉන් තරග 14ක් ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධයෙන් වන අතර මෙය කවදාවත් මෙසේ ලැබී නැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 

NDH/HC