Print this page

අඳුරේ තිබූ මේ රට පිවිතුරු කර ඉදිරියට ගෙන ආවේ ජනාධිපතිතුමා

නොවැම්බර් 17, 2014
(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) පිවිතුරු හෙටක් හදන්න දැන් කවුරුවත් ඕනේ නැති බවත් අඳුරේ තිබූ මේ රට පිරිසිදු කර ඉදිරියට ගෙන ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
 
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දොළොස් වැනි දින විවාදයට එක්වෙමිනි.
 
අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ 136 හා 219 වැය ශීර්ෂයන් විවාදයට ගැනේ‍.
 
මහින්ද චින්තනයෙන් ජනාධිපතිතුමා ක්‍රීඩාව දෙස බලා ඇති අයුරු අප දන්නවා. කාලයක් තිස්සේ කළ නොහැකි ව තිබූ ක්‍රීඩා ප්‍රතිපත්තිය හදන්න කටයුතු කළා. ක්‍රීඩා සංගම්වල පරිපාලනමය, මුදල් ගැටලු, යල් පැන ගිය රෙගුලාසි පවතිනවා. මේවා සංශෝධනය කරමින් ක්‍රීඩා පනතට නව රෙගුලාසි ගෙන එන්න කටයුතු කළා . ඒ පැරණි රෙගුලාසි එකවර වෙනස් කළ නොහැකි බවත් ඒවා ක්‍රමානුකූලව වෙනස් කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
ජනාධිපතිතුමා, ක්‍රීඩා අමාත්‍යවරයා නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කර හැමෝගේම ශාරීරික යෝග්‍යතාව ඇති කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතී. එය කොළඹින් අරඹා ඇත. ඒ අනුව ව්‍යායාම මංතීරු සකස් කර කිසිදු ව්‍යායාමක නොයෙදෙන රාජ්‍ය සේවකයාට පවා ඒ සඳහා අවස්ථාව උදා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
 
පාසල් දරුවන් තරගකාරී අධ්‍යාපනය හා බද්ධවෙලා. ඔවුන්ට ශාරීරික යෝග්‍යතාව නිසි පරිදි ගොඩනගාගන්න නොහැකි වෙලා. දරුවන් ක්‍රීඩාවට යොමු කිරීම සඳහා නව අධ්‍යාපන ක්‍රමවේද සමඟ ක්‍රීඩාවත් පාසලට ගෙන එන්න කටයුතු කර ඇත. ඒ අනුව හැම පාසල් දරුවෙක් ම මොන හෝ එක් ක්‍රීඩාවකට යොමු කිරීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව කටයුතු කිරීම හෙට දිනය වෙනුවෙන් ගත් වැදගත් ක්‍රියාමාර්ගයකි. පාසල්වල ක්‍රීඩා ගුරු හිඟයක් පවතී. ග්‍රාමීය ක්‍රීඩා පුහුණු වැඩසටහන් වැඩකරමින් ගමේ සිටින දක්ෂ දරුවන් ඉදිරියට ගෙන එන වැඩපිළිවෙළ තව තවත් කාර්යක්ෂම කරන ලෙසත් මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
 
NDH/HC