Print this page

රටේ ආර්ථික සංවර්ධනයට ධීවර කර්මාන්තයේ දායකත්වයත්

නොවැම්බර් 11, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) අපේ රටේ ආර්ථිකය වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් පියවරෙන් පියවර ඉදිරියට පැමිණ ඇති බවත් මේ සඳහා ධීවර කර්මාන්තයේ දායකත්වයත් හිමි වන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හත් වෙනි දින විවාදයට එක්වෙමිනි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 139, 290 වැය ශීර්ෂයන් අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා  විවාදයට ගැනිණි.

ධීවර කර්මාන්තය තුළ අල්ලා ගන්නා මාළු ලංකාවේ පාරිභෝජනයට පමණක් නො ව විදේශ විනිමය හොයන්නත් අපනයනය කරයි. මෙය සම්පතක් බවට පත්ව ඇත්තේ මේ නිසයි. පුත්තලම දිස්ත්‍රික්කයේ වියළි ගිය පොකුණු අද ඉස්සන් කර්මාන්තයට යොමු කර ඇති අතර ඉස්සන්, මුහුදු කූඩැල්ලන්, බෙල්ලන් හා ටූනා මසුන් අද විදේශ විනිමය හොයන සම්පත් බවට පත් ව ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තරය සමඟ ධීවර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් සාකච්ඡා සිදු කරනු ඇත. ජාත්‍යන්තර සමුළු ගණනාවක් මේ වන විට අප රටේ පවත්වා තිබේ. පසුගිය දිනවල යුරෝපා තහනමක් ගැන කතා කළත් ධීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා මිරිදිය කර්මාන්තය ද වැදගත් වේ. මිරිදිය මසුන්, සුරතල් මසුන් ව්‍යාපෘති සඳහාත් වරාය සංවර්ධනය වෙනුවෙනුත් මුදල් වෙන් කර ඇත. චීනය, ජපානය වැනි රටවල මත්ස්‍ය නිෂ්පාදනය වැඩි වී ඇත්තේ පොකුණු ආශ්‍රිත මිරිදිය කර්මාන්තය නිසයි. අතිගරු ජනාධිපතිතුමා මෙවර අය-වැයෙන් පැහැදිලි කළ පරිදි ධීවර කර්මාන්තය සඳහා සහන ලබා දී ඇත. මිරිදිය හෝ කරදිය වේවා කුමක් වුවද ධීවර ජනතාව වෙනුවෙන් සහන දෙන බවත් මාළු සඳහා ස්ථාවර මිලක් අය-වැයෙන් ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

NDH/HC