Print this page

කිලිනොච්චියේ කාන්තාවන් ගැන ජාත්‍යන්තරයට වැරදි තොරතුරු දෙන්න එපා

නොවැම්බර් 10, 2014

මහේෂ්වරන් මහත්මිය කිලිනොච්චියේ 40,000ක් වැන්දඹුවන් සිටින බව කියනවා. එහි සිටින යුද්ධයෙන් පීඩාවට පත් 20% හැර ඉතුරු අය පුරුෂයා ස්වභාවික මරණ හෝ දික්කසාද මත තනි ව සිටින අයයි. ජාත්‍යන්තරයට මෙවැනි වැරදි තොරතුරු දෙන්න එපා. සත්‍ය තොරතුරු පමණක් හෙළි කරන්න යැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.


කිලිනොච්චියේ සිටින පවුල් සංඛ්‍යාව 38,800ක් වන අතර එහි සිටින කාන්තා මූලික පවුල් සංඛ්‍යාව 7,852ක් බවත් ඒ අතුරින් යුද්ධයෙන් පීඩාවට පත් වූ අය සිටින්නේ 20%ක් පමණ බවත් ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ 120, 217 වැනි වැය ශීර්ෂයත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ 143 වැනි වැය ශීර්ෂයත් අද පෙරවරුවේ විවාදයට ගැනිණි.


යුද්ධයෙන් අවතැන් වූ ළමුන් ආරක්ෂා කරන්න ළමා නිවාස ඉදිකර පවත්වාගෙන යනවා. ළමා අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සංවර්ධන වැඩකොටසක් කර ගෙන යනවා. ළමා අධ්‍යාපනය සඳහා අතිගරු ජනාධිපතිතුමා මුල් වතාවට මුදල් වෙන් කර ඇත. මේ රට අවුරුදු 30ක යුද්ධයක් පැවති රටක්. එක දවසකින් මේ රට ගොඩනගන්න බැහැ. ඒ සඳහා 2015 අයවැය ඉදිරිපත් කර ඇති බවත් මේ රට ස්ථාවර රටක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ආසියා රටවල දැඩි ස්ථාවරභාවයක් ඇති ආණ්ඩු අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවයි. යුද්ධය අවසන් කර මේ රට සාමකාමී රටක් බවට පත් ව ඇත. මේ රටේ සශ්‍රීක පවුලක් ගොඩනගන්න අප කටයුතු කරනවා. කුඩා දරුවා සඳහා ලිංගික අපචාර නැති රටක් ගොඩනගන්න කටයුතු කරන බවත් ආසියාවේ ආශ්චර්ය බවට මේ රට පත් කරන්න කාලය පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

NDH/HC