Print this page

යුද්ධය නිසා පියා, මව අහිමි වන දරුවන්ව එයින් මුදවා ගත්තේ ජනාධිපතිතුමා

නොවැම්බර් 10, 2014

යුද්ධය නිසා පියා, මව අහිමි වන දරුවන් ව එයින් මුදවා ගත්තේ අතිගරු ජනාධිපතිතුමා බවත් කාන්තාව අද රටේ සියලු ක්ෂේත්‍රයන්හි ඉදිරියට ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.


මන්ත්‍රීවරියා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ 120, 217 වැනි වැය ශීර්ෂයත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ 143 වැනි වැය ශීර්ෂයත් අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

රජයේ වැඩපිළිවෙළ නිසා පිටරට යන කාන්තාවන්ගේ ප්‍රතිශතය පසුගිය වසරට වඩා 40% දක්වා අඩු වී තිබේ. කුඩා දරුවන් සිටින මව්වරුන්ට අද නිකම්ම රට යන්න බැහැ. ඒ සඳහා වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. දිවි නැඟුම යටතේ නිවසේ සිටින කාන්තාවන් සඳහා එළවළු, පලතුරු පැළ ලබාදෙන්නේ කාන්තාවන් හරහා නිවසේ ගෙවත්ත දියුණු කරන්නයි. සත්ත්ව පාලනය වැඩි කරමින් ස්වයංරැකියා පුහුණුව කාන්තාවන්ට ලබාදෙමින් දැවැන්ත වැඩපිළිවෙළකට රජය අවතීර්ණ වී සිටින බව ද ඇය පෙන්වා දුන්නාය.

දරුවන් බලා ගන්න හොඳ මවක් වෙන්න ශ්‍රී ලංකා කාන්තාවට අවශ්‍යයි. ඒ නිසා ගෙදර ඉදන් දරුවන් බලාගන්නා ගමන් ගෙදර ආර්ථිකයට සහය වෙන්න දිවි නැඟමෙන් අවස්ථාව සලසා ඇත. විශේෂයෙන් ම අඩු ආදායම්ලාභීන්ට දිවි නැඟුමෙන් ණය පහසුකම් සපයා ඇත. මේ ණය පහසුකම් ලබා දෙන්න 2015 අයවැය මඟින් ජනාධිපතිතුමා මුදල් වෙන් කර තිබේ. අද කාන්තාව සවිබල ගන්වන්න පියවර රැසක් ගෙන තිබේ. අද සියලු ම ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය වැඩියි. කාන්තාව අද සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ඇත. අද ළමා මන්දපෝෂණය අඩු මට්ටමක පවතින අතරසෞඛ්‍ය, අධ්‍යාපනය ඉහළයි. කාන්තා පිරිමි කියා අධ්‍යාපනයේ වෙනසක් නැහැ. කාන්තාව, පිරිමියා අභිබවා ඉදිරියට යාවි යැයි විශ්වාසයක් පවතී. ළමුන්ට එරෙහි ව සිදු වන ප්‍රචණ්ඩත්වය, අපයෝජනය වාර්තා කරන්න ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් තිබීම සුවිශේෂී වන බවත් ඔවුන්ට සිදු වන අපයෝජන, ලිංගික හිංසනයට එරෙහි ව කටයුතු කරන්න නීතිය ශක්තිමත් කර ඇති බවත් මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.

මනෝ සමාජ උපදේශනය අද අත්‍යවශ්‍ය කරුණකි. දික්කසාද සිදු වීමේ ඉහළ යාමක් වාර්තා වන නිසා පවුල් ඒකක ශක්තිමත් කිරීම සඳහා මානෝ උපදේශනය අවශ්‍යයි. මෙය ඉතා වැදගත් කාන්තා වැඩපිළිවෙළක් බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
 
NDH/HC