Print this page

කාන්තා රැකවරණය ශක්තිමත් කරන්න මෙවර අය-වැයෙන් වැඩි මුදලක්

නොවැම්බර් 10, 2014

කාන්තා රැකවරණය ශක්තිමත් කරන්න මෙවර අය-වැයෙන් වැඩි මුදලක් වෙන් කර ඇති බවත් කාන්තා හා ළමා හිංසනය සඳහා කටයුතු කිරීමට වෙනම ම කාන්තා පොලිස් ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.


කාන්තා පොලිස් ඒකකයක් මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටුවීමට කටයුතු කළ බවත් ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක ම පොලිසියට අනුයුක්තව එවැනි මධ්‍යස්ථානයක් පිහිටුවන්න අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කළාය.

අමාත්‍යතුමිය මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ 120, 217 වැනි වැය ශීර්ෂයත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ 143 වැනි වැය ශීර්ෂයත් අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

කාන්තා හිංසනය, ළමා අපයෝජන අවම කිරීම, කාන්තා සවිය, මුල් ළමාවිය සංවර්ධනය වැනි කටයුතු සඳහා ගිය වසරට වඩා වැඩි මුදලක් මේ වසරේ රජය මඟින් වෙන් කර ඇත. ළමා නිවාස ඉදිකිරීමට මෙන් ම පිටරට යන කාන්තාවන්ගේ දරුවන් සඳහා රැකවරණ මධ්‍යස්ථාන පිහිටුවීමට ද මුදල් වෙන් කර ඇති බව අමාත්‍යවරිය පැවසුවාය.

පාර්ලිමේන්තු අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ කතා කිරීමේදී මැති ඇමතිවරුන් 225 දෙනා සඳහා රක්ෂණ මුදලක් ඇති බවත් එම රක්ෂණාවරණය වැඩිකිරීමේ ක්‍රියාදාමය කර ගෙන යන බවත් ඇය පැවසුවාය.

යහපාලනය පිළිබඳ ඇතුළත් ග්‍රන්ථයක් මුද්‍රණය කර ප්‍රකාශ කළා. එය දෙමළ භාෂාවෙන් ද උතුරු නැගෙනහිර රාජ්‍ය ආයතන සඳහා යවා ඇත. ප්‍රාදේශීය ලේකම්, ප්‍රජා නායකයන්ගේ සහභාගිත්වයෙන් පාසල් පද්ධතියේ සිටින දරුවන් දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පුහුණුවක් කර ගෙන යනු ඇත. වසරකට වැඩසටහන් 05ක් හෝ 06ක් සඳහා මේ වැඩසටහන සිදුකරන බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

NDH/HC