Print this page

ඛනිජතෙල් සංස්ථාව පාඩුව අවම කර ලාභ ලබන මට්ටමට පැමිණ තිබෙනවා

නොවැම්බර් 07, 2014

ඛනිජතෙල් සංස්ථාව පාඩුව අවම කර ලාභ ලබන මට්ටමට පැමිණ තිබෙන බවත් තෙල් ගෙන්වීමේදී ටෙන්ඩර් පටිපාටිය නිසි පරිදි අනුගමනය කරන බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වැනි දින විවාදයට එක්වෙමිනි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ 119 වැනි වැය ශීර්ෂයත් සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ 115 වැනි වැය ශීර්ෂයත් අද පස්වරුවේ විවාදයට ගැනිණි.

විපක්ෂය විවිධ විවේචන කළා. තාක්ෂණය සම්බන්ධ ගැටලු නිසයි අලුත් තෙල් නළ එලීමට ප්‍රමාද වී තිබෙන්නේ. තාර ගෙන්වන්නේ ටෙන්ඩර් ක්‍රමයටයි. අපි ඉන් මිලියන ගණනක් ලාභ ගෙන තිබෙනවා. ලිහිසි තෙල් අවශ්‍යතාව 13.2%කින් ඉහළ නංවන්න අපිට හැකි වී තිබෙනවා. කිසිවිටක පිරිවිතරවලට පහළ ඉන්ධන ගොඩබාන්නේ නැහැ. තෙල් මිල පහළ වැටීමෙන් හෙජින් ගිවිසුම නිසා සිදු වූ පාඩුව අවම කරන්න පියවර ගන්නවා. මෙයට දැන් පූර්ණ පරීක්ෂණයක් කෙරෙනවා. අප ඊට බලපෑම් කරන්නේ නැහැ. වරදකරු කවුරු වුවත් අවශ්‍ය පියවර ගන්නවා යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහි තෙල් මාෆියාවක් තිබෙනවා. රටට රජයට පාඩුවක් නොවන පරිදි මා කටයුතු කරනවා. කාටවත් වුවමනා නිසා බයේ මා වැඩ කරන්නේ නැහැ. ආයතනයේ වැරදි හුඟාක් අඩු කළා. නිලධාරීන් මට සහය දුන්නා. නිසි පරිදි වැඩ කරන්න නිලධාරීන් කැමතියි. ඔවුන් මා ආරක්ෂා කළා. ඒ නිසා සංස්ථාව පාඩුව මගහැර ලාභ ලබන මට්ටමට පැමිණ තිබෙන බවත් තවම තෙල් මිල ඇත්තේ ඩොලර් 102ක පමණ වන අතර ඩොලර් 78ට කියා කියන කතාව බොරු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

NDH/HC