Print this page

යුද්ධයෙන් පසු කඩිනමින් උතුරු පළාතේ ජනතාවට මාර්ග ඉදිවුණා

නොවැම්බර් 07, 2014

යුද්ධයෙන් පසු මාර්ග සංවර්ධනය සඳහා ගන්නා ලද කඩිනම් ක්‍රියාමාර්ග නිසා උතුරු පළාතේ ජනතාවට මාර්ග පහසුකම් ලැබී ඇති බව නියෝජ්‍ය කාරක සභා සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා පවසයි.


මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වැනි දින විවාදයට එක්වෙමිනි.

මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ 117 වැය ශීර්ෂයත් සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ 176 වැය ශීර්ෂයත් අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

යාපනය, කන්කසන්තුරේ ඇතුළු ප්‍රධාන මාර්ග සංවර්ධනය කර තියෙනවා. රුපියල් කෝටි 600ක් පමණ මේ සඳහා වැය කර තිබේ. ඉදිකර ඇති මාර්ගවලින් උතුරේ ජනතාව ප්‍රයෝජනයක් ලබා ගෙන ඇති අතර රැකියා ප්‍රවර්ධනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට මෙය අවශ්‍යයි. යුද්ධයෙන් පසු උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ක්‍රියාත්මක කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලදී නිෂ්පාදන දකුණට යැවීම සඳහා මේ මාර්ග වැදගත් වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

එදාට වඩා අද යාපනයේ සිට මන්නාරම හා පුත්තලම හරහා කොළඹ එන්න ගත වන කාලය පැය 02කින් පමණ ඉතුරු වෙනවා. උතුරේ සංවර්ධනය ඉතා ඉක්මනින් සිදු වෙනවා. දුම්රිය මාර්ග ඉදි වී තියෙනවා. සමහරු කියන්නේ, කාපට් මාර්ග ඉදිකිරීමෙන් මොනවාද ලැබෙන්නේ කියායි. එසේ කියන අය, ජනතාව දුකින් මුදවා ගැනීම ගැන දුක් වෙනවා. සංවර්ධනය විවේචනය කරන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඒ අකමැති කාපට් මාර්ගවල ම ගමන් කරන බවත් ලැබෙන සංවර්ධනය රටේ හැමෝම භාර ගත යුතු බවත් ඔහු පැවසීය.

NDH/HC