Print this page

දේශපාලන පක්ෂවල වාසියට අහිංසක ජනතාවගේ දුප්පත්කම පාවිච්චි කරන්න එපා

නොවැම්බර් 04, 2014

තම දේශපාලන පක්ෂවල වාසිය, ප්‍රයෝජනය වෙනුවෙන් අහිංසක ජනතාවගේ දුප්පත්කම පාවිච්චි කරන්න හදන්න එපා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දෙවැනි දින විවාදයට එක්වෙමිනි.

ඉඩම් ගැන කතා කළා. ඉඩමක් තියාගෙන ඇති පලේ මොකක්ද? ඉඩමක් තිබිලා ගෙයක් නැත්නම් වැඩක්ද? ඒ මිනිස්සු පැල්පත්වල ජීවත් වන්නට ඉඩ නොතබා සැපවත් ලෙස තට්ටු ගෙවල්වල ජීවත් වීමට ඉඩ ලබා දීම වරදක්ද? අපේ ආරක්ෂක හමුදාවට අපි හොඳට සලකනවා. ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ නිවාස අවශ්‍යතාව සහ අනෙකුත් අවශ්‍යතාවන් කෙරෙහි රජය අවධානය යොමු කර තිබෙනවා යැයි ද ඔහු කීය.

අපි කෘතගුණ දන්න ජාතියක්. අපි සෑම උත්සවයකදී ම මියගිය ආරක්ෂක අංශ සාමාජිකයින් සිහි කරනවා. විශ්‍රාම යාමට නියමිත වයස සම්පූර්ණ නොවූවවත් ආබාධිත බව හේතුවෙන් විශ්‍රාම ගොස් සිටින සෙබළුන්ට විශ්‍රාම වැටුප් ගෙවනවා. අද කොළඹ නගරය විතරක් නෙමෙයි ප්‍රධාන නගර සියල්ල ම ලස්සනයි. අවසන් කරන්නට බැහැයි කියූ ත්‍රස්තවාදය අවසන් කළේ අපගේ ආරක්ෂක අංශ සාමාජිකයින් බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

NDH/HC