Print this page

විනය ගරුක රටක් බිහිකිරීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ වගකීමයි

නොවැම්බර් 04, 2014

විනය ගරුක රටක් බිහිකිරීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ වගකීමක් බවත් මේ රටේ අපි හැමෝ ම සහජීවනයෙන් සිටිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි.


අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස මහින්ද බාලසූරිය මහතා පත්කර තිබෙනවා. එතුමා දක්ෂ නිලධාරියෙක්. පොලිසිය හා විශේෂ කාර්ය බලකාය අයත් වන්නේ මේ අමාත්‍යාංශයටයි. මේ ආයතන දෙක ම රට වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා යැයි එතුමා පැවසීය.

නීතිය හා සාමය ගොඩනැගීම මෙන් ම මහජන සේවය ඉටුකිරීමට ද අපි බැඳී සිටිනවා. පොලිසියේ වැරදි කරන කිහිප දෙනෙකු සිටිය හැකියි. නමුත් සමස්තය වැරදි කරන්නේ නැහැ. ඒ නිසා සමස්තයට ම චෝදනා එල්ල කිරීම වැරදියි. විනය ගරුක නීති ගරුක රටක් බිහිකිරීම නීතිය හා සාමය පවත්වා ගෙන යාම මහජන ආරක්ෂාව ප්‍රතිපත්ති සැකසීම, නාස්තිය හා දූෂණය අවම කිරීම අප අමාත්‍යාංශයේ වගකීමක්. පොලිසිය සඳහා තාක්ෂණය හඳුන්වා දීම, පොලිස් මුරපොළ සංඛ්‍යාව වැඩිකිරීම ගුණාත්මක පොලිස් සේවයක් ඇතිකිරීම ආදී සැලසුම් රැසක් අප සතුව පවතිනවා. එමෙන් ම රට පුරා වෙසෙන ජනතාවගේ ඇඟිලි සලකුණු ලබාගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් ඇති කිරීමට ද සැලසුම් කර තිබෙනවා යැයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

NDH/HC