Print this page

ජනතා සුනාමියෙන් යූඑන්පීය සේදිලා යා ම නැවතිය නොහැකියි Featured

නොවැම්බර් 01, 2014

අද විරුද්ධ පක්ෂය දේශපාලන බෙලහීනතාව ප්‍රකාශ කරන බවත් දැන් ආණ්ඩුවට විරුද්ධව ජවිපෙ වාම ප්‍රගතිශීලී ප්‍රහාරයකුත් යුඑන්පිය දක්ෂිණාංශික ප්‍රහාරයකුත් දෙමළ ජාතික සංවිධානය දෙමළ ජාතිවාදී ප්‍රහාරයකුත් කරන්න හදන බවත් ඒ මොනවා කළත් ජනතා සුනාමියෙන් යූඑන්පීය සේදිලා යාම නැවතිය නොහැකි බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 

විසර්ජන පනත් කෙටුම්පත 2015 දෙවැනි වර කියැවීමේ විවාදයේ හත්වැනි දිනයේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.


විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මෙසේ ද කීය. “මේ ‍රටේ රාජ්‍ය නායකයින් සමඟ බලන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තරම් මේ රටේ ගම් දනව්වල ඇවිද්ද රාජ්‍ය නායකයෙක් නෑ. එතුමා ගම්මාන ගානේ ජනතාව ළඟට ගමන් කරනවා. සාමාන්‍ය ජනතාව ගැන සොයා බලනවා. තමුන්නාන්සේලාගේ නායකයා රාජ්‍ය පාලනය කළ කාලයේ ගියේ කොහෙද? හෝටල්වලට. එතුමාගේ ආණ්ඩුව පෙරළෙන කොටත් හිටියේ බෙන්තර හෝටලයක. දැන් කියනවා ජනාධිපතිතුමා රට වටේ යනවා කියලා. එතුමාගේ ගමන් වියදම් ගැන තමයි කතා කරන්නේ. මේක එතුමාගේ පවුලට අදාළ ආර්ථිකයක් කියනවා. අද රාජ්‍ය සේවයේ ලක්ෂ 15කට කිට්ටුයි. ඔවුන්ට රුපියල් 25000/ක අවම වැටුපක් ලබාදීලා තියෙනවා. මේ රටේ වැඩ කරන ජනතාව කියන්නේ පවුලද?

 

අද ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා කතා කරලා අහන්නේ මොනවාද? තර්ක මොනවාද? එදා ජවිපෙ යුද්ධය යන වෙලාවේ ඒකට සහය නො දී කරපු පාපයේ වරද අද ජවිපෙ ගෙවන්නේ. යුද්දෙ අතගගා ගියා නම් පංච බල කේන්ද්‍රය නෙවෙයි මොන බල කේන්ද්‍රයවත් ඉතුරු වෙන්නේ නැහැ.

 

එදා තමුන්නාන්සේලාගේ ආණ්ඩුව තියෙන කාලේ රාජ්‍ය සේවයට මොකද කළේ? රිගේයිනින් ශ්‍රී ලංකා කියන බයිබලය අනිත් පැත්ත හරවලා තමයි මේ සංවර්ධනය ගෙනැවිත් තියෙන්නේ. තමුන්නාන්සේලා වැල්ලේ කෝම්පිට්ටු හදන්න හරි දස්සයි. රළ පාර එනකම් කෝම්පිට්ටු හදනවා. අපි බයියෝනේ අපි දන්නවා කෝම්පිට්ටු ගැන. ඒකයි බයියන්ගෙයි ටොයියන්ගෙයි වෙනස. ටොයියෝ නෙවෙයි යුද්දෙ කළේ. මේ රටට තරගවලින් ජයග්‍රහණ ගෙනාවා නම් ඒ ගෙනාවෝ බයියෝ තමයි. යුද්දෙ කළේ බයියො තමයි. තමුන්නාන්සේලාට ටොයියෙක් දාගෙන ඕක කරන්න බැහැනේ.

 

දැන් ආණ්ඩුවට විරුද්ධව ජවිපෙ ගෙනියනවා වාම ප්‍රගතිශීලී ප්‍රහාරයක්. යුඑන්පිය ගෙනි යනවා දක්ෂිණාංශික ප්‍රහාරයක්. දෙමළ ජාතික සංවිධානය දෙමළ ජාතිවාදී ප්‍රහාරය කරන්න හදනවා. ඒ මොනවා කළත් ජනතා සුනාමියෙන් යූඑන්පීය සේදිලා යන එන නවත්තන්න බැහැ. මේක වැටී නැගිටිච්ච රටක්. දැන් අවිනිශ්චිතභාවය සදාකාලිකව ම මරලා.

 

මේ අය-වැය මේ රටේ ආර්ථිකයත් බුද්ධියත් එකතු කරලා ගත්ත අය-වැයක්. සුබසාධන පැත්ත ඉතා ඉහළින් රැක්ක අය-වැයක්. මේ ගමනේ අඩුපාඩු තිබුනොත් ඒවා හදා ගන්න පුළුවන්. මේ රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙනැල්ලා, බිය නැති කරලා, අහිංසක මිනිසාගේ සුබසාධනය ගැන හිතලා ගෙනාපු අය-වැය යෝජනාවලියක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

 

දේශීය ආයෝජකයාට ණය ආධාර දීලා බදු සහන දීලා දේශීය ආර්ථිකයට පණ දෙන්න වැඩ කරලා තියෙනවා.

 

මේක චණ්දෙට දීපු අල්ලසක් කියලා කියනවා. මේක මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙවෙයි. මේක රටේ මුදල් පනත. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණා ම ප්‍රතිපත්ති ප්‍රකාශනයක වගේ නොකර ඉන්න බැහැ. මේක අල්ලසක් වෙන්නේ කොහොමද?

 

කොහොම හරි මේ රට දෙමළ ජාතිකවාදී කණ්ඩායම්වලට බිලි දීලා බලය අල්ලන්න හදන විපක්ෂයක් මේක. මංගල සමරවීර මහත්තයාට ඒක තේරිලා තියෙනවා. එතුමා ඊයේ කරපු කතාව බැලුව ම පේනවා.

 

මේ රටේ වැඩකරන ජනතාවට මේ තරම් සහන දුන්නේ මොන අය-වැයෙන්ද? මේ තරම් සමාජ සුබසාධනයට සහන දුන්නේ මොන අය-වැයෙන් දැයි ? වීරවංශ මහතා  විපක්ෂයෙන් ප්‍රශ්න කළේය.

 

HC