Print this page

මෙවර අයවැයෙන් සහන රැසක් ගොවි ජනතාවට

ඔක්තෝබර් 31, 2014

සහන රැසක් ගොවි ජනතාව වෙනුවෙන් ලබා දුන් මෙවර අයවැයෙන් මුඩු බිම් නැවත වගා කරන්නත් යෝජනා කර තිබෙන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මොන දේ කිව්වත් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අය-වැය ගොවි ජනතාව ගැන සිතා ඉදිරිපත් කරන ලද්දක් බවත් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ පස්වෙනි දින විවාදයට එක්වෙමිනි.

ගොවි ජනතාව ගැන සිතා පොහොර සහනාධාරය ඉදිරියටත් ලබාදෙමින් දැඩි නියඟයට හසු වූ උතුරේ ගොවි ජනතාව වෙනුවෙන් නැවත වගාවට බිත්තර වී ලබා දෙන්න, ලබා ගත් අස්වැන්න සාධාරණ මිලකට විකිණීමටත් හැකි වන පරිදි මේ අයවැය සකස් කර තිබෙනවා. සහන රැසක් ගොවි ජනතාව වෙනුවෙන් ලබා දුන් මෙවර අයවැයෙන් මුඩු බිම් නැවත වගා කරන්නත් යෝජනා කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දැවැන්ත වාරිමාර්ග යෝජනාක්‍රම රාශියක් ක්‍රියාත්මක කරන්න මුදල් වෙන් කර තිබේ. රුපියල් කෝටි 9000ක් වැය කර මොරගහකන්ද ජලාශය ඉදිකරන්න පියවර ගෙන ඇත. එය රජරට ජනතාවගේ ලොකු ම බලාපොරොත්තුවයි. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර, තාක්ෂණ පීඨ ඉදිකරමින් දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කරනවා. තරුණ ප්‍රජාවට රැකියා 50,000ක් ලබා දෙමින් ඔවුන් ගුරු සේවයට අනුයුක්ත කරන්න වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. පළාත් සභා, ප්‍රාදේශීය සභා මාර්ග නවීකරණය කරමින් වන සතුන්ගේ ප්‍රශ්නය විසඳන්නත් මෙවර අයවැයෙන් කටයුතු කර තියෙනවා. මේ සඳහා මෙපමණ කලක් ගත්තේ තාවකාලික විසඳුම් පමණි. මෙවර ස්ථිර විසඳුම් අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මහ බයියා ඉදිරිපත් කළ මෙවර අය-වැයෙන් ගමේ සිටින කුඩා බයියන්ට විශාල සහන ලැබී තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

NDH/HC