Print this page

රටේ සාමයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට යෝග්‍ය අය-වැයක් සකස් කර තිබෙනවා

ඔක්තෝබර් 30, 2014

යුද්ධය අවසන් වී රටේ සාමය ස්ථාවර ව පවතින මේ අවස්ථාවේ එයින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කටයුතු කළ යුතු බවත් ඒ සඳහා ඉතා යෝග්‍ය අය-වැය ලේඛනයක් සකස් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ පස්වෙනි දින විවාදයට එක්වෙමිනි.

 

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පසුගියදා ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් වැරදි මත ගොඩ නැගී පවතී. ශ්‍රී ලංකාව මේ නඩුවේ පාර්ශවකරුවෙකු නො වේ. විත්තිකරු යුරෝපීය සංගමය හා සම්බන්ධයි. ඒ නඩුවට සහය වෙන්න නම් අප ඒ අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළ යුතුයි. නමුත් අපි අපේ රට විදේශීය අධිකරණයකට යටත් කරන්න කිසිසේත් ම සූදානම් නැහැ. අපේ විදේශ ප්‍රතිපත්තියේ මූලික ම සිද්ධාන්තයත් එයයි. එසේ ඉල්ලුවේ නම් එයින් ජාතියට වන හානිය ඉතා ප්‍රබල බව ඔහු පෙන්වා දුන්නේය.

 

මේ නඩු තීන්දුව පිළිබඳ ව අප යුරෝපීය සංගමය නියෝජනය කරන තානාපතිවරුන් කැඳවා සාකච්ඡා කළා. යුරෝපීය කවුන්සිලයට පුළුවන් මේ නඩු තීන්දුවට එරෙහි ව අභියාචනයක් ඉදිරිපත් කරන්න. ඒ නඩුවේ විනිසුරුකරුවන්ට පුළුවන් එල්.ටී.ටී.ඊ.යට විරුද්ධ ව නව නීති හා රෙගුලාසි පනවන්න. ඔවුන්ට අවශ්‍ය තොරතුරු අප දෙන අතර ඒ හරහා මේ වැඩපිළිවෙළ ගෙන යනවා. අපි මේ සඳහා පාර්ශවකරුවන් ලෙස ඉදිරිපත් වුණා නම් එයින් මේ රටට හොඳක් වෙන්නේ නැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

 

ඒ වගේ ම ජනාධිපතිතුමා ජිනීවාහි දී එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව හමු වුණෙත් නැහැ. ජිනීවා නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය හා සම්බන්ධ අයෙකුට භාරදුන්නා යැයි කියන චෝදනාවේ කිසි ම සත්‍යයක් නැහැ. මේ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවට තියෙන සාක්ෂි කුමක්ද? කවදාද? මොකක්ද නඩුව? මෙහි සත්‍යයක් නැහැ. ස්විස් පොලිසිය පැහැදිලි ව ප්‍රකාශ කර තියෙනවා තුරෙයි රාජා තංගරාජා කිසි ම අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නැති බව. ඒ පිළිබඳ වෙබ් අඩවියක් ද පොලිසිය පෙන්වා දී ඇති අතර ඒ වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් මේ පුද්ගලයාට විරුද්ධ ව අපරාධ නැති බවට ඔප්පු කළ හැකි බවත් එය සපුරා සත්‍යයෙන් තොර චෝදනාවක් බවත් අමාත්‍යවරයා කීය.

 

මේ අයවැය පිළිබඳ ව කතා කිරීමේදී යෞවන ක්ෂේත්‍රය වෙනුවෙන් මේ රජය ප්‍රමුඛත්වය දුන්නා. සහශ්‍ර සංවර්ධන ඉලක්කවලට මේ රජය තැනක් දුන්නා. ලංකාව අද ලෝකයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන රටක් ලෙස හඳුනා ගෙන තියෙනවා. වැඩි ප්‍රතිලාභ රටේ ජනතාව වෙත සාධාරණ ලෙස බෙදා දෙන්න මේ අය-වැය ලේඛනයෙන් යෝජනා කර තිබේ. තුලනාත්මක අය-වැය ලේඛනයක් ලෙස ද හැඳින්විය හැකියි. චීනය ප්‍රථමවතාවට මේ රටට ආවා. ඊට පසු ආ ජපන් අගමැති ආවේ හිස් අතින් නො වේ. ලබන වසරේ මුල් මාස 06 තුළ චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

ඉන්දියාව හා පකිස්තානය සමඟ දැනටමත් නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කර ඇත. අපනයන භාණ්ඩවලින් කවදාවත් නැතුව ආදායම් උපයා ගෙන ඇත. ගිය වසරට සාපේක්ෂ ව මේ වසරේ පළමු මාස 07 තුළ සංචාරක පැමිණීම ද ඉහළ ගොස් ඇත. ආර්ථික වර්ධනය සාර්ථක ව ඉදිරියට ගොස් ඇත. ආසියාවේ ප්‍රධාන රටවල් රැසක් ශ්‍රී ලංකා අදහස් ආදර්ශ ලෙස පිළිගන්නවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

NDH