Print this page

මෙවර අය-වැය වාර්තාගත වන ඓතිහාසික අය-වැයක්

ඔක්තෝබර් 29, 2014

මෙවර අය-වැය මධ්‍යස්ථ මෙන් ම වාර්තාගත වන ඓතිහාසික අය-වැයක් බව වැවිලි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

 

ආර්ථිකය මූලික කර ගනිමින් 8%ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කර ගත් අය-වැයක් මෙය. ජනතා හිතවාදී අය-වැයක් මෙවර ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇතැයි කී අමාත්‍යවරයා දිස්ත්‍රික් මට්ටමින් මහජනතාව හමු වී සිවිල් සමාජයේ නොයෙකුත් කොටස්කරුවන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගෙන සකස් කරන ලද අයවැයක් ඉදිරිපත් කළ බව ද කීය.

 

වගකීමෙන් යුත් අයවැයක් ලෙසත් මෙය හැඳින්විය හැක. 2015 අයවැය පරතරය 4.7%කට අඩු කිරීම ඉලක්කයයි. අපනයන ක්ෂේත්‍රයේ 16%ක වර්ධනයක් පවතී. නිෂ්පාදනය 13%කින් වැඩි කරන්න අපේක්ෂිතයි. අවුරුදු 30කට පසු සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් ස්ථාවර බවක් රට තුළ ගොඩනගන්න ජනාධිපතිතුමා කටයුතු කර තිබෙන බව ද ඔහු කීය.

 

වැවිලි කර්මාන්තයට සහන විශාල ප්‍රමාණයක් ලබා දී ඇත. සාමාන්‍යයෙන් අයවැය ඉදිරිපත් කළ පසු ක්‍රියාත්මක කරන්නේ ඊළඟ වසරේ ජනවාරියේ සිටයි. නමුත් මෙවර අයවැය නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා යෝජනා කර ඇත. රබර් සඳහා සහතික මිලක් ලබා දුන්නා. ප්‍රථම වරට කුඩා තේ වතු හිමියන්ට හා රබර් වතු හිමියන්ට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබීම ඉතා වැදගත් වෙනවා. ඒ ගැන කුඩා තේ වතු හිමියන් ජනාධිපතිතුමාට ස්තූති කර ඇති බවත් මෙවර වතු ජනතාව සඳහා නිවාස 50,000ක් හැදීමට කර ඇති යෝජනාව ද ඉතා වැගත් වෙනවා. එසේ ම සනීපාරක්ෂක හා ජල ප්‍රශ්න විසඳන්නත් මෙවර අයවැයෙන් ජනාධිපතිතුමා මුදල් වෙන් කර තිබීම ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

NDH/HC