Print this page

උතුරට විශාල ආයෝජන අවස්ථාවන් ලබාදී තිබෙන්නේ වත්මන් ආණ්ඩුවයි

ඔක්තෝබර් 29, 2014

පසුගිය වසර කිහිපය තුළ උතුරේ විශාල ආයෝජන අවස්ථාවන් ලබාදී තිබෙන්නේ වත්මන් ආණ්ඩුව බවත් මේ හැමදෙයක්ම සිදු කර තිබෙන්නේ උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට වුවත් මේ සියල්ල දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා නොදකින එක කනගාටුවට කරුණක් බවත් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

 

ජනාධිපතිතුමාගේ දස වැනි අය-වැය අති සාර්ථක බව දැනටමත් පේන්නට තිබෙනවා. විපක්ෂයට මේ ගැන කතා කරන්නවත් දෙයක් නැති වෙලා. අද එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් මෙහෙ නැහැ.  අද පේදුරු තුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වා ඕනැම කෙනෙකුට යන්න පුළුවන්. නැගෙනහිර සිට බටහිර දක්වා ඕනෑම කෙනෙකුට යන්න පුළුවන්. මේ තරම් ම නිදහසක් ඇති කිරීමට ජනාධිපතිතුමා කටයුතු කරනවා. මේ ගැන ශිවශක්ති මන්ත්‍රීතුමා නොදකින එක ගැන කනගාටු වෙන බව ද ඔහු පැවසීය.

 

උතුරු, නැගෙනහිර ප්‍රදේශවල වැඩි ම සංවර්ධනයක් සිදු කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි. මේ වන විට ඇමෙරිකාවේ ආර්ථිකය ඉක්මවා චීනය ඉදිරියට එමින් තිබෙනවා. මෙයින් දෙන ආදර්ශය වන්නේ ජනතාවට නැගී සිටීම කළ හැක්කේ ධනවාදයෙන් නොවන බවයි. ලංකාවේ අප යල් පැන ගිය රාමුවෙන් වෙනස් වී රටේ ආර්ථික සංවර්ධනය වේගයෙන් ඉදිරියට එන තත්ත්වයට පත් වෙලා. මේ අයවැය මඟින් පංච මහා බලවේගය යළි ඉහළට ඔසවා තිබෙනවා. මේ රජයට බලය දී ඇත්තේ ජනතාවගේ ප්‍රගමනයට සේවයක් කිරීමටයි. ආර්ථිකය කඩා වැටෙයි කියා හිතන අයට අපේ ගමන් මඟ අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. අනුකරණවාදී ආර්ථික ගමන්මඟ ඉවත දමා රජය රටේ ආර්ථිකය හොඳින් ඉදිරියට ගෙන යන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

NDH/HC