Print this page

ජනාධිපතිතුමා ඉතා සාර්ථක අය-වැයක් ඉදිරිපත් කළා

ඔක්තෝබර් 29, 2014

ඉතා සාර්ථක අය-වැයක් මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ බවත් මෙය මැතිවරණය බලාගෙන ඉදිරිපත් කළ අයවැයක් නොවන බවත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.

 

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

 

උතුරේ තිස් අවුරුදු යුද්ධයකින් පසු ජනතාව යළි පදිංචි කර රාජ්‍ය සේවය යළි ස්ථාපිත කිරීමෙන් පසු ඉදිරිපත් කළ සාර්ථක අයවැයක් මෙය. ජනාධිපතිතුමාගේ දූරදර්ශී වැඩපිළිවෙළ මේ මඟින් ඉදිරිපත් කළා. උතුරු හා නැගෙනහිර පළාත් සභා නැවත ස්ථාපිත කරන්න හැකි වුණේ කුරිරු ත්‍රස්තවාදය නැති කළ නිසයි. විපක්ෂය හා ජාත්‍යන්තරය කියනවා එල්.ටී.ටී.ඊ. සංවිධානයට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව. මේ වන විට එල්.ටී.ටී.ඊ. සංවිධානයට දේශපාලන විසඳුමක් ජනාධිපතිතුමා ලබා දී ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.

 

2015 වන විට ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4000 දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි. එජාපයේ මන්ත්‍රීවරුන් මොන චෝදනා එල්ල කළත් ජනාධිපතිතුමා ගත් මේ පියවර ඉතා ප්‍රශංසනීය බව ද එතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

NDH/HC