Print this page

අය-වැය විවාදයට මන්ත්‍රීවරු නැති ව සභාව කල් තබයි Featured

ඔක්තෝබර් 28, 2014

අය-වැය විවාදයේ තෙවැනි වෙන්කළ දිනය වූ අද (28) පස්වරුවේ විවාදය සඳහා නම් නියම කර තිබූ විරුද්ධ පක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවේ නොසිටීම නිසා සභා රැස්වීම නියමිත වේලාවට පැයකුත් විනාඩි හතළිස් පහක් පමණ තිබියදී කල් තැබීමට මූලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතාට සිදුවිය.

 

අද පස්වරුවේ විවාදයට එක්වෙමින් සභාව අමතමින් සිටි එජනිස මන්ත්‍රී නෙරන්ජන් වික්‍රමසිංහ මහතා සිය කතාව අවසන් කළේ පස්වරු 4.45ට පමණය.

 

අනතුරු ව විවාදයට එක්වීමට නියමිත ව සිටි එජාප මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මියගේ නම මූලාසනයෙන් අඬගැසූ විට ඇය සභාවේ නොසිටියෙන් අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ නම් කතා කිරීම සිදු විය. පළමුව ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍ය බෂීර් සේගුදාවුද් මහතාගේ නම ද අනතුරු ව එජනිස මන්ත්‍රී ජානක වක්කුඹුර හා එජනිස මන්ත්‍රී වී.කේ. ඉන්දික යන මන්ත්‍රීවරුන්ගේ නම් ද මූලාසනයෙන් ප්‍රකාශ කළ අතර ඔවුන් කිසිවෙකුත් සභා ගැබේ නොසිටියහ. එම නිසා අද පස්වරු 6.00 දක්වා පැවැත්වීමට නියමිත ව තිබූ විවාදය අවසන් කර සභාව කල්තැබීමට මූලාසනයට සිදු විණි.

 

අනතුරු ව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කිරීමට මුලාසනයෙන් දැනුම් දුන්නේය. එහිදී අද සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත සිටි ගාල්ල දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර මහතා සිය කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වුව ද එම යෝජනාව විවාදයට ගැනීම සඳහා එය ස්ථිර කිරීමට විරුද්ධ පක්ෂයේ කිසි ම මන්ත්‍රීවරයෙකු සභාවේ නොසිටි බැවින් පාර්ලිමේන්තුව හෙට (29) පෙරවරු 9.30 දක්වා කල් තැබීමට මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා නියම කළේය.


HC/NDH