Print this page

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් සහන දෙන අය-වැයක්

ඔක්තෝබර් 25, 2014
සාමාන්‍ය ජනතාවට මෙන් ම පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයන්ට පවා මෙහි සහන ලැබී තිබෙන පවත් සේවක අර්ථසාධක අරමුදලට ලාභාංශ එකතු කිරීම මඟින් ජනතාවට වැඩි වාසි සැලසෙන බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත (2015) පළමු වැනි වෙන් කළ දිනයේ විවාදයට එක්වෙමිනි.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "මහජනතාවට සහනාධාර දෙන්න කියලා ජනතාව පාරට බස්සපු ජ.වි.පෙ. සහනාධාර දෙන විට එය අල්ලසක් කියා කියනවා. අපිත් හොඳ සමාජවාදීන් තමයි. අපි ආර්ථික වශයෙන් සමාජවාදී පිළිවෙතක් අනුගමනය කරන්නේ. ඒ නිසයි වාමාංශික පක්ෂ අපි සමඟ සිටින්නේ. මේ අය-වැය ලංකාව තුළ ලොකු පරිවර්තනයක් සිදු කර තිබෙනවා.
 
2015 සිට  ජීවන අංක දීමනා ඇරුණු කොට වෙනත් දීමනා නැහැ. අනෙක් දීමනා සියල්ල මූලික වැටුපට එකතු කළා. එමඟින් සේවකයන්ගේ විශ්‍රාම වැටුප පවා වැඩි වී තිබෙනවා. අතිකාල දීමනා, අර්ථසාධක මුදල් වැනි දේවල් වැඩි වී තිබෙනවා. විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කර වර්තමාන වැටුප සමඟ ගලපා විශ්‍රාම වැටුප ලබාදෙන එකම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. එ.ජා.පය ආණ්ඩු කරන කාලයේ ශ්‍රී ලංකාව ඌන සංවර්ධිත රටක්. අද වන විට එය මධ්‍යම පංති රටක් බලට පත්වෙලා. එදා දුන්නේ ආධාර, අද වාණිජ ණය තමයි දෙන්නේ. විපක්ෂය අද වැරදි චිත්‍රයක් අයවැය පිළිබඳ ව මවන්නට උත්සාහ කරනවා. අවුරුදු නවයක් තිස්සේ අපි අය වැය ඉදිරිපත් කළා. එවායින් ලැබුණු ආභාෂයෙන් මෙවර හොඳ ම අය-වැයක් ඉදිරිපත් කළා. 
 
මෙවර අය-වැයෙන් වී සඳහා සහතික මිලක් ලබාදී තිබෙනවා. රබර් මිල වැඩි කළා. සෑම ජනතාවගෙන්ම අහල තමයි මේ අය-වැය සකස් කළේ. රවි කරුණානායක මහතා එය අවඥාවට ලක් කළා. 2001දී එ.ජා.ප ආණ්ඩුව කර්මාන්ත ශාලා පෞද්ගලීකරණය කළා. ඉඩම් විදේශිකයන්ට මිලදී ගැනීමට වටපිටාවක් නිර්මාණය කළා. ඒ නිසා අද ගාලු කොටුවේ ඉඩම් වැඩි ප්‍රමාණයක් විදේශිකයන් සතු" බව ද කීය. 
 
NDH/HC