Print this page

රජයේ සේවකයින්ට විශාල සහන ලබා දෙන අය-වැයක්

ඔක්තෝබර් 24, 2014

ජනතාවට ලබා දෙන සේවාව පිළිබඳ සලකා බලන විට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ නව අය-වැය වාර්තාව මීට පෙර ඉදිරිපත් කරන ලද අය-වැය වාර්තා අභිබවා යන බවත් සමාජයේ සෑම කොටසකට ම බලපාන විදියට ඒ අයට ප්‍රයෝජනයක් සිදු වෙන ආකාරයට අය-වැය සකස් වී තිබෙන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා අද (24) පාර්ලිමේන්තුවේදී 2015 අය-වැය පිළිබඳ ව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.


විශේෂයෙන් රටේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට හේතු වෙන යෝජනා ගණනාවක් අය-වැයට ඇතුළත් ව තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.


“වීවල සහතික මිල රුපියල් 40 කරලා තියෙනවා. පොහොර සහනාධාරය දිගට ම දෙනවා යැයි කියන ප්‍රකාශය සිදු කළා. බිත්තර වී නොමිලේ දෙනවා. තේ, රබර්, පොල් වවන උදවියට විශාල සහන දෙනවා. ඒ අයට නැවත නැවත වගා කිරීම සඳහා දැනට දෙන මුදල මෙන් දෙගුණයක් ලබා දෙන්න ප්‍රකාශ වුණා.


ආර්ථික සංවර්ධනය වගේ ම සමාජ සංවර්ධනයක් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර දියුණු කිරීමට මෙම අය-වැය යෝජනා සකස් වී ඇත.


රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස සතුටට පත්වෙනවා. මේ රටේ රජයේ සේවකයින්ට ඉතිහාසයේ කවමදාකවත් නොලැබුණු වැටුපක් ලැබීම සම්බන්ධව. 2006 සිට විශ්‍රාමිකයන්ගෙන් නැඟුණ අඳෝනාවක් වූ 2006ට පෙර විශ්‍රාම ගත් පුද්ගලයන්ගේ විශ්‍රාම වැටුප් ඌනතා නැති කිරීම පිළිබඳ සළකා බලා ඔවුන් ඉදිරිපත් කෙරූ අයුරින් 2006 වැටුප් මත විශ්‍රාම වැටුප් සැලසුම් නොකර ජයග්‍රාහී ලෙස 2015 නව වැටුප් පදනම් කරගනිමින් 2006ට පෙර විශ්‍රාම ලත් පුද්ගලයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් සැලසුම් කර ලබා දීමට අද යෝජනා වුණා.


දැනට පවතින රුපියල් 11200 රාජ්‍ය සේවක අවම වැටුප රුපියල් 3800කින් වැඩි වී රුපියල් 15000 දක්වා ඉහළ ගොස් ඇති අතර වැටුපට එකතු නොකළ දැනට අතිරේක ව ගෙවන රුපියල් 8500ක විශේෂ දීමනාව වැටුපට එකතු කිරීමට යෝජනා කර ඇත. එවිට විශ්‍රාම යන පුද්ගලයන්ගේ විශ්‍රාම වැටුප සකස් වන්නේ ද එම මුදල පදනම් කරගෙන වීම විශේෂත්වයකි. සියල්ල සැලකූ විට රුපියල් 12000ක පමණ වැටුප් වැඩි වීමක් සිදු වෙනවා. එවිට රුපියල් 25000කට ආසන්න වැටුපක් අවම වශයෙන් හැම කෙනෙකුටම තියෙනවා. රජයේ සේවකයින්ට විශාල සහන ලබා දෙන අය-වැයක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. “

 

SDF/HC/NDH