Print this page

නිදහස් ලංකාවේ 69 වැනි අය-වැය ලේඛනය අද පාර්ලිමේන්තුවට Featured

ඔක්තෝබර් 24, 2014

නිදහස් ලංකාවේ 69 වැනි අය-වැය ලේඛනය වූ ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවනවර ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන සිව්වන අය-වැය ‍ලේඛනය වූ ද 2015 සඳහා වන අය-වැය යෝජනා අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුව සභාවට ඉදිරිපත් කරයි.


පාර්ලි‍‍මේන්තුව අද පස්වරු 1.30ට රැස්‍වන අතර මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ 2005 දී ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ඉදිරිපත් කරනු ලබන දහවැනි අය-වැය කතාව ආරම්භ කරනු ඇත.


අය-වැය දිනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන, එසේ නැත්නම් විසර්ජන පනත්‍ කෙටුම්පත දෙවන වර කියවන දිනයේ දී සමාජයේ සියලු ම අංශ අය-වැය යෝජනා ප්‍රකාශයට පත් කරන තෙක් බලා සිටිති. මුදල් අමාත්‍යවරයා, රිබන් පටියකින් ගැටගැසූ තම බ්‍රීෆ් කේසය පාර්ලිමේන්තු සභා ගර්භයට රැගෙන එයි. ඒ තුළ අය-වැය යෝජනා සහිත කෙටුම්පත තිබේ. අද ඉදිරිපත් කරනු ලබන අය-වැය යෝජනාවල රහස්‍ය බව එමඟින් සංකේතවත් කෙරේ.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසර්ජන පනත් කෙටුම්පත ලෙස හඳුන්වන ලේඛනයට භාවිත වන ජනප්‍රිය යෙදුම 'අය-වැය' යන්නයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වෙනත් ඕනෑ ම පනත් කෙටුම්පතක් සේ ම, අය-වැය ද පළමුවන, දෙවන සහ තුන්වන වර කියවනු ලැබීමෙන් අනතුරු ව එම කියවීම් වාර තුනේ දී ම සභා සම්මත වූ පසු නීතිය බවට පත්වේ.

 

පාර්ලිමේන්තුවේ දී විවාද කර සම්මත වීමෙන් පසු ව 2015 ජනවාරි 01 වන දා සිට එය ක්‍රියාත්මක වේ. ජනවාරි 01 වන දිනෙන් ආරම්භ වන එම ලිත් වර්ෂය තුළ පොදු සේවාවන් සඳහා ප්‍රතිපාදනය කරන ලද මුදල් වැය කිරීමට මෙමගින් රජයට බලය ලැබේ.


2015 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් එක්දහස් අටසිය දොළොස් බිලියන දෙසිය අනු දෙමිලියන හත්සිය දහඅට දහසක් බවට සඳහන් ඇස්තමේන්තුව ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් 26 වැනි දා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.  

 

මෙවර අය-වැයෙන් දිළිඳුකම, ඇති නැති පරතරය තවදුරටත් අඩුකිරීමටත්, මෙතෙක් කරගෙන ආ සංවර්ධන ව්‍යාපෘතීන් කඩිනම් කිරීමටත් අදාළ දිරිගැන්වීම් ලබා දීමට ද කටයුතු කෙරෙන අතර ස්වාභාවික විපත් අවම කිරීමට පියවර ගැනීමට කටයුතු කෙරෙන අතර කෘෂි ඵලදායීතාව වැඩි කිරීමට ද අඩු ආදායම්ලාභින්ට, දෛනික වැටුප් ලබන්නන්ට සෙත සැලසීමට ද සමස්ත ජනගහණයෙන් 95%කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට ඉඩ සැලසීමට ද කටයුතු කෙරෙන නව යෝජනා රැසක් මෙවර අය-වැයෙන් ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කෙරේ.

 

ජනාධිපතිතුමා 2015 අය-වැය යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (25) සිට දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ වේ.

 

HC