Print this page

අය-වැය විවාදයේ දී පාර්ලිමේන්තුවේ ගණපූරණය අවශ්‍යයි

ඔක්තෝබර් 20, 2014

අය-වැය විවාදයේදී පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නොසලකා හැරීමත් හදිසියේ ම ඡන්දයක් ඉල්ලා නොසිටීමට ගෙන තිබූ තීරණයත් අද (20) පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ඉවත දැමිණි.


පාර්ලිමේන්තුව අද (20) කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී රීති ප්‍රශ්නයක් මතු කරමින්  පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගෙන තිබූ මේ තීරණයට ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් කුමාර මහතා සිය විරෝධය පළ කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා තමා වෙත ලිපියක් එවමින් පසුගිය 10දා රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී මේ අයවැය විවාදයේදී ගණ පූර්ණය විමසීමක් නොකිරීමට යම් කරුණකට ඡන්දයක් අවශ්‍ය නම් ඒ පිළිබඳව කලින් දැනුම් දිය යුතු ඇති බවට ගෙන ඇති තීරණය ගැන සිය අප්‍රසාදය දැක්වූ මන්ත්‍රීවරයා මේ නිසා මන්ත්‍රීවරුන් 225ක් සිටින සභාවේ එක මන්ත්‍රීවරයෙකු සිටියත් රැස්වීම පවත්වා ගෙන යා හැකි බවත් ගණපූර්ණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන කරුණක් නිසා පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගෙන ඇති තීරණය ව්‍යවස්ථා විරෝධී බවත් කීය.


මන්ත්‍රීවරයෙකුට ඕනෑ ම කරුණකට ඡන්දයක් බෙදීමක් ඉල්ලා සිටිය හැකියි. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ලැබෙන පිළිතුර ගැන සෑහීමකට පත් නොවන්නේ නම් ඡන්දයක් ඉල්ලා සිටීමේ අයිතිය මන්ත්‍රීවරයෙකුට තිබිය යුතු හෙයින් මේ තීරණය ගැන සලකා බලන ලෙස ඉල්ලා සිටියේය. පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මේ බව සලකා බලන බව කතානායක චමල් රාජපක්ෂ මහතා දන්වා සිටියේය. පසුව පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී කලින් ගෙන තිබූ තීරණය ඉවත් කිරීමට තීරණය විය.

 

NDH/HC